ෂාරුක්ට ජගත් සම්මානයක්



‘ජගත් ආර්ථික සම්මේලනය’ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවරදී පැවැත්වුණු අතර, එහිදී බොලිවුඞ් සුපිරි නළු ෂාරුක් ඛාන්ට ද සුවිශේෂී සම්මානයක් හිමිවිය.

‘ජගත් ආර්ථික සම්මේලනය’ සෑම වසරකම ඩාවෝස් නුවරදී පැවැත්වෙයි. මෙහිදී, වාණිජමය වශයෙන් පමණක් නොව, සමාජීය සහ දේශපාලනික වශයෙන් ද ලොව කැපී පෙනෙන මෙහෙවරක් සිදු කරන පුද්ගලයන් අගයමින් සම්මාන පිරිනමීම සිදු කෙරේ.

මෙවර සම්මානයට පාත්‍ර වූයේ ෂාරුක් ඛාන්, සම්මානනීය හොලිවුඞ් නිළි කේට් බ්ලැන්චෙට් සහ එක්සත් රාජධානියේ සම්මානනීය කැපී පෙනෙන සංගීතඥ එල්ටන් ජෝන් ය.

ෂාරුක් අසුන් ගෙන සිටියේ එල්ටන් ජෝන් සහ කේට් බ්ලැන්චෙට් ට මැදිවය. සම්මාන හිමි කර ගැනීමෙන් පසු ෂාරුක්, රැස්ව සිටි පිරිස මැදදී කේට් බ්ලෙන්චෙට්ගෙන් සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටීමට කැමැතිදැයි විමසුවේ යැයි ද ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
ෂාරුක් ඛාන්, බොලිවුඞ් සිනමා තරුවක් පමණක් නොව, ඉන්දියාවේ කාන්තා අයිතීන් වෙනුවෙන් කැපී පෙනෙන සමාජ මෙහෙවරක් ද සිදු කරයි. සම්මාන උලෙළෙදී ඔහු ඇගැයීමට ලක්වුණේ ඒ අනුවය.

තමන් එසේ සමාජ මෙහෙයවර සිදු කරන්නේ තම මවගෙන් සහ පියාගෙන් ලැබුණු මඟ පෙන්වීමෙන් බවත්, අද තම බිරිය ගෞරි සහ දියණිය තමන්ට ලොකු ශක්තියක් බවත් ෂාරුක් සිය දේශනයේ දී රැස්ව සිටි පිරිස අමතමින් පැහැදිලි කළේය.

ක්ලේට් බ්ලෙන්චෙට් සහ එල්ටන් ජෝන් ද එවැනි සමාජීය මෙහෙවරක් සිදු කරන මානවහිතවාදීහු වෙති. ෂාරුක්ට පෙර සම්මානයට පාත්‍ර වූයේ කේට් බ්ලෙන්චෙට්ය.

කේට් දක්ෂ නිළියක පමණක් නොව, බිලියන ගණනකට පිහිට වුණු නිළි රැජිනක යැයි ෂාරුක් ඇය හඳුන්වා දුන්නේය. තමා ද ඇයට අතිශයින් ගරු කරන බව ද ෂාරුක් රැස්ව සිටි පිරිස අමතමින් කියා සිටියේය.

(රොයිටර්)

 


RECOMMEND POSTS