පුටින් - කිම් හමුවෙති



රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර හමුව පැවැත්විණි.

ජනාධිපති පුටින් සහ නායක කිම් ජොන් අතර හමුවක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙයයි. මෙය ජගත් දේශපාලනයේ තවත් සංධිස්ථානයක් යැයි බටහිර පුවත් සේවා වාර්තා කළේය.

රුසියානු ජනාධිපතිවරයාගෙන් උතුරු කොරියා නායකයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. අතට අත දී සුහඳ වචන හුවමාරුවකින් පසු, දෙදෙනා අතරේ සාකච්ඡා ආරම්භ විය. එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට බඳුන් වූයේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණ කටයුතුය.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් සාමයට කැප වී සිටින අතර උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණ සිදු කරන බවට ප්‍රතිඥා දී සිටී. කෙසේ නමුත් එම න්‍යෂ්ටික අවිහරණ කටයුතු ඉතා මන්දගාමීව සිදුවන බවට ඇමෙරිකාව චෝදනා කරයි.

උතුරු කොරියා නායකයා සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර පැවැති දෙවැනි හමුව අසාර්ථක වූයේ ද එම චෝදනා හේතුවෙනි. එම දෙවැනි හමුව පැවැත්වූයේ වියට්නාමයේ හැනොයි අගනුවරදීය.

2003 වසරේ දී රුසියාවේ මැදිහත් වීමෙන්, උතුරු කොරියාවේ න්‍යෂ්ටික අර්බුදයට විසඳුම් සෙවීමට සය පාර්ශ්වීය සමුළුවක් පිහිටුවීය. ඊට උතුරු කොරියාව, රුසියාව, දකුණු කොරියාව, ජපානය සහ ඇමෙරිකාව සහභාගී විය. කෙසේ නමුත් එම සාකච්ඡා සාර්ථක වූයේ නැත.

රුසියානු ජනාධිපති පුටින්, උතුරු කොරියා නායකයා නායක කිම් ජොන් උන් සමඟ පැවැත්වෙන ඉදිරි සාකච්ඡා සඳහා දකුණු කොරියාව, ජපානය සහ ඇමෙරිකාව සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වනු ඇතැයි ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

හමුව පැවැත්වූයේ රුසියාවේ ව්ලැදිවොස්ටොක් නමැති වෙරළාශිත නගරයෙට නුදුරින් පහිටි රස්ස්කයි නමැති කුඩා දූපතේය. සමුළුව වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණි. ස්නයිපර් තුවක්කුකරුවන් වහලයේ ආරක්ෂාවට යොදවා සිටි බව වාර්තා විය. හමුව පැවැත්වූයේ ක්‍රීඩා ශාලාවේය.

ව්ලැදිවොස්ටොක්  නගරයටත්, හමුව පැවැත්වුණු රස්ස්කයි දූපතටත් ඉහළින් ගුවන් කලාපය තහනම් කලාපයක් ලෙස නම් කරනු ලැබ තිබුණි. රුසියාවට අයත් එක් කෙළවරක් උතුරු කොරියාවට මායිම් වෙයි. නායක කිම් ජොන් උන් සහ නියෝජිත පිරිස රුසියාවට ගියේ කිම් ජොන් උන්ගේ විශේෂ දුම්රියෙනි. ඒ, විශේෂ ආරක්ෂාවක් යටතේය. නායක කිම් ජොන් උන්, ව්ලැදිවොස්ටොක් නගරයට පැමිණියේ (23) ය.

උතුරු කොරියා නායකයා හමුවීමට, ජනාධිපති පුටින් ව්ලැදිවොස්ටොක් බලා පැමිණියේ අද (25) උදෑසනය.

මොස්කව්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS