පා පන්දු ලෝක කුසලානයට ආරක්ෂාවක්



21 වැනි ලෝක කුසලාන පා පන්දු තරගාවලිය අද (14) රුසියාවේ  කලිනියන්ග්‍රාද් ප්‍රාන්තයේ කලිනියන්ග්‍රාද් නුවර කේන්ද්‍ර කොට ගනිමින් ආරම්භ වෙයි.

අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන්ගෙන් පා පන්දු තරගාවලියට තර්ජන එල්ල වී ඇති හෙයින්, රුසියානු රජය තරගාවලියට සුවිශේෂී ආරක්ෂාවක් යොදා තිබේ. පළමු තරගය පැවැත්වෙන්නේ රුසියාව සහ සෞදි අරාබිය අතරේය.

නගරය පුරා සී.සී.ටීවී ආරක්ෂක කැමරා 700 කින් සමන්විත පද්ධතියක් ස්ථාපිත කර තිබේ. ඊට අමතරව, තවත් කැමරා 12,000 ක් පා පන්දු තරග පැවැත්වෙන කලිනියන්ග්‍රාද් නුවර ක්‍රීඩාංගනවල සවි කර ඇත.

මෙම කමරා පද්ධතිය මුහුණු හඳුනා ගැනීමේ පරිගණක වැඩසටහන් පද්ධතියකට සම්බන්ධය. එහෙයින්, ත්‍රස්ත සැකකරුවන හෝ  සැකකටයුතු අයකු සිටී නම් හෝ වහා ආරක්ෂක අංශ ඒ ගැන දැන ගනු ඇතැයි පැවැසෙයි.

ආරක්ෂක කැමරා පද්ධතිය පළමු ආරක්ෂක වැඩපිළිවෙළ ලෙස සැළකෙයි.

දෙවැනි ආරක්ෂක වැඩපිළිවෙළ වන්නේ රුසියානු ‘ස්පෙට්ස්නෝට්ස්’ විශේෂ කාර්ය බළකා සෙබළුන්ය. ඕනෑම ආකාරයක ත්‍රස්ත තර්ජනකට මුහුණ දීමට මෙම බළකා සෙබළුන් මනා ලෙස පුහුණුව ලබා සිටින බව පැවැසෙයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS