නිකෝසියා නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයක්



ශ්‍රී ලංකා-සයිප්‍රස් ද්විපාර්ශ්වික සබඳතා වඩාත් ශක්තිමත් කිරීම සදහා කැපවීමට ප්‍රතිඥා දෙමින් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා නිකෝසියා නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය නිල වශයෙන් විවෘත කළ විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මාරපන මහතා එම ප්‍රතිඥාව ලබා දුන්නේ ඉකුත් සතියේ සයිප්‍රස් විදේශ කටයුතු අමාත්‍ය නිකොස් ක්‍රිස්ටොඩවුලිඩස් මහතා සමඟ පැවැති සාකච්ඡාවලදීය.  1963 වසරේදී සයිප්‍රසය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයකු එරට කළ ප්‍රථම නිල සංචාරය මෙය වේ.

එම සංචාරයේ දී විදේශ අමාත්‍යවරයා සයිප්‍රස් ජනරජයේ ජනාධිපති නිකොස් අනස්ටාසියඩස් මහතාද බැහැ දුටු අතර කම්කරු, සුබ සාධන සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය සීටා එමිලියානිඩු මහත්මිය හමු වී සාකච්ඡා පැවැත්වීය. 2019 පෙබරවාරි 28 වැනි දා පැවැති නිල උත්සවයකදී විදේශ අමාත්‍ය තිලක් මාරපන සහ සයිප්‍රස් විදේශ අමාත්‍ය නිකොස් ක්‍රිස්ටොඩවුලිඩස් යන මහත්වරුන් අතින් නිකෝසියා නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විවෘත විය.

කම්කරු, සංචාරක, අධ්‍යාපන සහ කුඩා සහ මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකත්ව සංවර්ධනය ඇතුළු කෘෂිකාර්මික අංශවල දෙරට අතර ඇති සහයෝගය දියුණු කිරීමට වැඩි අවධානයක් දෙමින්  දෙරට අතර දැනට පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මාරපන මහතා සහ අමාත්‍ය ක්‍රිස්ටොඩවුලිඩස් මහතා සාකච්ඡා කළහ. සයිප්‍රසයේ සේවා නියුක්ත ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ ප්‍රධාන ගැටලු නිරාකරණය කිරීමට සයිප්‍රස් රජය සූදානම් බව විදේශ අමාත්‍ය ක්‍රිස්ටොඩවුලිඩස් මහතා අමාත්‍ය මාරපන මහතාට සහතික විය. වැඩිදියුණු කළ සහයෝගීතාව සහිත එකඟ වූ ක්ෂේත්‍රවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා දේශපාලන උපදේශන සාකච්ඡා 2020 ජනවාරි මාසයේදී  පැවැත්වීමට කෙරුණු  යෝජනාවට දෙපාර්ශ්වයේම එකඟතාව පළ විය.

සයිප්‍රස් රජයේ එක්සත්භාවය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් ශ්‍රී ලංකාව ලබා දෙන සහයෝගය යළි තහවුරු කළ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා අමාත්‍ය ක්‍රිස්ටොඩවුලිඩස් මහතාට නුදුරු අනාගතයේදීම ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසට ඇරයුම්  කළේ ය.

කම්කරු අමාත්‍ය සීටා එමිලියානිඩු මහත්මිය සමඟ පැවැති හමුවේදී,  සයිප්‍රසය පසුගිය වසර 40ක කාලයක සිට ශ්‍රී ලාංකිකයන්ට වටිනා සේවා නියුක්තික ගමනාන්තයක් වූ බව සිහිපත් කළ අමාත්‍ය මාරපන මහතා එය ඇගයීමට ලක් කළේය. එහිදී අමාත්‍යවරයා  විසින් ඉස්මතු කරනු ලැබූ වැදගත් කාරණා ද්වය වූයේ සියලුම ශ්‍රී ලාංකික සේවකයන්ට නිසියාකාර වැටුප් වැඩි කිරීම් හා කෙටි කාලීන කොන්ත්‍රාත් සේවකයන් සඳහා ආරක්ෂණ හා විශ්‍රාම වැටුප් ගෙවීම ය. සයිප්‍රස් රජය මේ කාරණා ද්විත්වය සම්බන්ධයෙන් ධනාත්මකව  ක්‍රියා කරන බවටත් ආගන්තුක සත්කාර, කෘෂිකර්මය හා තොරතුරු තාක්ෂණය යන අංශවල නිපුණ  ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩිපුර ඉඩ ප්‍රස්ථා සලසා දෙන බවටත් කම්කරු අමාත්‍ය එමිලියානිඩු  මහත්මිය අමාත්‍ය මාරපන මහතාට සහතික වූවාය. ශ්‍රී ලංකාව හා සයිප්‍රසය අතර ඇති කර ගැනීමට නියමිත රැකියා ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකික මිනිස්බලය යෙදවීම යන කෙටුම්පත් ගිවිසුම ඉහත කී කාරණා  ඇතුළත් වන පරිදි සංශෝධනය කිරීමට දෙපාර්ශ්වයම එකඟ විය.

නිකෝසියා නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේ දී කථා කළ අමාත්‍ය තිලක් මාරපන මහතා  ශ්‍රී ලාංකික සේවකයන් ජාතික ආර්ථිකයට කළ අමිල මෙහෙවර අගය කළ අතර මෙම කොන්සල් ජනරාල් කාර්යාලය පිහිටුවනු ලැබූයේ ශ්‍රී ලාංකික වැඩ කරන ප්‍රජාව සඳහා සයිප්‍රසයෙහි මෙවැනි කාර්යාලයක් විවෘත කිරීමට දිගු කලක සිට පැවැති අවශ්‍යතාව සැපිරීමට බවත්,   සයිප්‍රසය හා ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන ද්විපාර්ශ්වීය සබඳතාව හා මිත්‍රත්වය පිළිගැනීමේ ලකුණක් වශයෙන් බවත් ප්‍රකාශ කළේය.

විවෘත කිරීමේ උත්සවය සඳහා සයිප්‍රසයේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව, රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව සහ සයිප්‍රස්හි මාධ්‍ය නියෝජිතයෝ මෙන් ම සිවිල් සහ ව්‍යාපාරික ප්‍රජාවද සහභාගී වූහ.

එකතු කරල ලද අගය සහිත කෘෂිකාර්මික බෝග  අපනයනයෙහි ප්‍රමුඛයකු වන ඇලියන් ගොවිපොළ වෙත කරනු ලැබූ චාරිකාවක්ද මෙම නිල සංචාරයට ඇතුළත් විය. කුසලතා පූර්ණ කෘෂිකර්ම උපාධිධාරීන්ට රැකියා අවස්ථා ලබා දෙන ලෙසටත් මෙවැනිම අපනයන ව්‍යාපාරයක් සඳහා ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ලෙසටත් අමාත්‍යවරයා විසින් කරනු ලැබූ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලාංකිකයන්ට එවැනි රැකියා අවස්ථා ලබාදීම ධනාත්මකව සලකා බැලීමටත්, මෙවැනි අපනයන ව්‍යාපාරයක් ඇරඹීමේ අවස්ථා ගවේෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ අධ්‍යයන චාරිකාවක නියැළීමටත් ඇලියොන්හි ප්‍රධාන විධායක නිලධාරී තියොදොරස් සවොස් මහතා සහතික විය.

සයිප්‍රස ජනරජයේ පළමු ජනාධිපතිවරයා වශයෙන් 1976 කොළඹ පැවැති පස්වැනි නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගී වූ තුන්වැනි මකාරියෝස් අගරදගුරුවරයා මිහිදන් කොට ඇති ස්ථානයටද අමාත්‍ය මාරපන මහතා ගියේය. කයිකෝස් සහ ටෘඩෝස් යන නගරවල වාසය කරන ශ්‍රී ලාංකික සේවකයන් හමුවූ අමාත්‍යවරයා ඔවුන් සමඟද සාකච්ඡා කළේය.

රෝමයේ නේවාසික සයිප්‍රසයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් දයා පැල්පොල, නේවාසික කොන්සල් ජනරාල් රෝහණ අඹගොල්ල, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා සේමසිංහ යන මහත්ම මහත්මීහුද මෙම නිල සංචාරයට සහ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට සහභාගී වූහ.


RECOMMEND POSTS