කුවේට් එමීර්වරයා කටාරයට



කටාර් රාජ්‍යයට එරෙහිව ඇති ප්‍රශ්නය විසදා ගැනීමේ අරමුණින් කුවේට් එමීර්, ෂෙයික් සබා අල්-අහමඩ් අල්-සබා සෞදි සහ එමීර් නායකයින් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව කටාර් රාජ්‍යයට පැමිණියේය.

කුවේට් එමීර්වරයාව ඉතා උණුසුම් ආකාරයෙන් කටාර් එමීර්, ෂෙයික්තමීම්බින් හමාඩ්අල්-තානි පිළිගත් බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

කටාර් රාජ්‍යයට පැමිණීමට ප්‍රථමයෙන් කුවේට් එමීර්වරයා එමිරේට්ස් පාලකයා සමඟ කටාර් රාජ්‍ය සම්බන්ධයෙන් සාකච්ඡා කල අතර ඉන් අනතුරුව ජෙඩ්ඩා නුවරදී සෞදි නායකයා සමඟ සාකච්ඡා ආරම්භ කළේය.

කුවේට් එමීර්වරයා සහ කටාර් එමීර්වරයා අතර සාකච්ඡා ආරම්භවීමෙන් පසු ගල්ෆ් කලාපයේ අනිකුත් රටවල් තම රටට එල්ල කරන සියළුම චෝදනාවන් කටාර් රාජ්‍යය ප්‍රතික්ෂේප කළේය.

සෞදි රාජ්‍යයේ නායකත්වයෙන් යුත් සන්ධානය කටාර් රාජ්‍යයට එරෙහිව ආර්ථික සම්බාධක සහ කටාර් රාජ්‍යයට පිවිසෙන සියළුම මාර්ගයන් වසා දැමීමට කටයුතු කරන ලදී.

කටාර් රාජ්‍යය ප්‍රතිපත්ති වෙනස් කළ යුතු අතර හමාස් සහ මුස්ලිම් සහෝදරත්ව දේශපාලන පක්ෂ වැනි අන්තවාදී කණ්ඩායම් වලට දක්වන සහයෝගය සම්පුර්ණයෙන්ම නතර කළ යුතු බව සෞදි රාජ්‍යයේ නායකත්වයෙන් යුත් සන්ධානය කටාර් රාජ්‍යයට තරයේ කියා සිටියේය.

කුවේට් රාජ්‍යයද ගල්ෆ් සාමාජිකත්වය ඇති රටක් වන අතර ඇතිවී තිබෙන ප්‍රශ්නකාරි තත්ත්වයේදි, කුවේට් රාජ්‍යය කටාර් රාජ්‍යයට විරුද්ධව රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයන් නතර කිරීමට කටයුතු නොකළ අතර මධ්‍යස්ථ තැනක සිට ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා සහයෝගය ලබා දෙමින් ඇත.

කුවේට් එමීර්වරයා 2014දී ද සෞදි අරාබිය, කටාර් රාජ්‍ය සහ අනිකුත් ගල්ෆ් කලාපීය රටවල් අතර ඇති වුණු මෙවැනිම ප්‍රශ්ණකාරි තත්ත්වයකදි මැදිහත්කරුවකු ලෙස විශාල කාර්‍යභාරයක් ඉටුකර ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)

 


RECOMMEND POSTS