කයිරෝ ආ පාප්තුමන්ට උණුසුම් පිළිගැනීමක්



ඊජිප්තුවේ සංචාරයකට පැමිණි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ කයිරෝ අගනුවර ප්‍රධාන ක්‍රීඩාංගනයේ දේව මෙහෙයක් පැවැත්වූ අතර ඊට දස දහස් ගණනක් ක්‍රිස්තියානි බැතිමත්හු සහභාගී වූහ.

මුස්ලිම් බහුතරයක් වෙසෙන ඊජිප්තුවේ ක්‍රිස්තියානුවන් සිටින්නේ බිලියන 1.3 ක් පමණක් යැයි පැවැසෙයි. පාප්තුමන් තෙදින සංචාරයකට ඊජිප්තුවට පැමිණියේ ඊයේ (28) සවසය.

ඊජිප්තු රජයෙන් සහ එරට වැසියන්ගෙන් පාප්තුමන්ට ඉතා උණුසුම් පිළිගැනීමක් හිමිවිය. පාප්තුමෝ සැමට ආශිර්වාද කළහ.

ඊජිප්තුවේ තවමත් හදිසි නීතිය ක්‍රියාත්මකය. ඒ, ක්‍රිස්තියානු දේවස්ථාන ඉලක්ක කරනිමින් මීට සති තුනකට පෙරඑල්ල වුණු බෝම්බ ප්‍රහාරයක් හේතුවෙනි. ප්‍රහාරය එල්ල වූයේ කොප්ටික් දේවස්ථානයකටය. එම බෝම්බ ප්‍රහාරයෙන් 45 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. පසුගිය දෙසැම්බර් මාසයේ ද මේ අයුරින්ම ඊජිප්තු ක්‍රිස්තියානුවන් ඉලක්ක කර ගනිමින් බෝම්බ පුපුරා ගියේය.

ෆ්‍රැන්සිස් පාප්තුමන්ට ද අයි.එස්. ඉස්ලාමික් ස්ටේට ත්‍රස්තවාදීන්ගෙන් මරණ තර්ජන එල්ලවී ඇත. එහෙයින් එතුමන් ඊජිප්තුවට පැමිණියේ විශේෂ ආරක්ෂාවක් යටතේය. දේව මෙහෙය පැවැත්වෙද්දී ඊට ඉහළ ගුවන් තහනම් කලාපයක් ලෙස නම් කෙරුණු බව ද වාර්තා වේ.

ඊජිප්තු සංචාරයේ දී එරට මුස්ලිම් ආගමික නායක අහ්මද් අල් තයේබ් හමුවීමට ද පාප්තුමෝ කටයුතු කළහ. අහ්මද් අල් තයේබ් හැඳින්වෙන්නේ මුස්ලිම් ලොවේ පාප්තුමකු ලෙසිනි.

අහ්මද් අල් තයේබ් පාප්තුමන්ගෙන් ෆ්‍රැන්සිස් පාප්තුමන්ට ඉහළ පිළිගැනීමක් හිමිවුණු බව විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත. මෙම හමුවීම සුවිශේෂී සිදුවීමක් විය. පාප්තුමකු සහ ඊජිප්තු මුස්ලිම් පාප්තුමකු හමුවුණු ප්‍රථමඅවස්ථාව මෙය විය.

(ඬේලිමේල් ඇසුරිනි)

 


RECOMMEND POSTS