ආසියාන් සමුළුව පිලිපීනයේ



වියට්නාමයේ පැවැති ‘ඇපෙක්’ සමුළුවෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊයේ (12) සවස පිලිපීනයේ මැනිලා නුවර බලා පැමිණි අතර, අද මැනිලා නුවර ආරම්භ වුණු අග්නිදිග ආසියානු රටවල රාජ්‍ය නායක සමුළුව’ හෙවත් ‘ආසියාන්’ සමුළුවට සහභාගී විය.

‘ආසියාන්’ සමුළුව පැවැත්වෙන්නේ 31 වැනි වරටය. ඇමෙරිකා ජනපති ට්‍රම්ප් ඊට සහභාගී වන පළමු අවස්ථාව මෙය වෙයි.

දින දෙකක් තිස්සේ පැවැත්වෙන සමුළුවේදී, අග්නිදිග ආසියානු කලාපීය රටවල රාජ්‍ය නායකයෝ රැස්වී, කලාපීය අර්බුද, ආරක්ෂාව සහ වාණිජ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වති.

සම්ප්‍රදායට අනුව, ‘ආසියාන්’ සමුළුවේදී ඊට සහභාගීවන රාජ්‍ය නායකයෝ අතට අත දෙමින් අත්වැල් අල්ලා ගෙන සමූහ ඡායාරූප පෙනී සිටිති. අත්වැල් අල්ලා ගැනීම සිදු කරන්නේ අත් දෙක දෙපත්තට පිහිටින විදියටය.

ඡායාරූපවලට පෙනී සිටීමට සූදානම්වී, අත් දිගු කරද්දී, අත් අල්ලා ගැනීම කළ යුත්තේ කෙසේදැයි ට්‍රම්ප්ට අවබෝධයක් නොතිබුණි. පසුව එය අවබෝධ වී, ට්‍රම්ප් අත්වැල් අල්ලා ගත්තේ දැඩි අපහසුවෙනි. ඒ බව ඔහුගේ මුහුණෙන් පිළිබිඹු වන බව ඡායාරූපවලින් පෙනී යයි.

ආසියාන් සමුළුවට රුසියාව නියෝජනය කරමින් සහභාගී වූයේ රුසියන් අගමැති දිමිත්‍රි මෙඩ්වදේව්ය. රුසියානු අගමැතිවරයාට ද සාම්ප්‍රදායික අත්වැල් අල්ලා ගැනීම ගැටලුවක් විය. ඔහු සිනහා මුසු මුහුණින් ඔහුට පහසුවිදියට අත් අල්ලා ගෙන ඡායාරූපවලට පෙනී සිටියේය.

ට්‍රම්ප් ඇතුළු සෙු රාජ්‍ය නායනකයෝ ‘ආසියාන්’ සමුළුවට සහභාගීවීමේ අරමුණින්, මැනිලා නුවර බලා පැමිණියේ ඊයේ සවසය. ඔවුන් උණුසුම් ලෙස පිළිගැනීමට පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩුටරේට්ස් කටයුතු කළේය. රාජ්‍ය නායකයන් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි. එහිදී ට්‍රම්ප් අසුන් ගත්තේ ද පිලිපීන ජනපති ඩුටරේට්ස් අසලිනි. දෙදෙනා පළමු වරට හමුවුණු අවස්ථාව මෙය විය.

‘ආසියාන්’ සමුළු පැවැත්වෙද්දී, ඊට විරෝධය පළ කරමින්, විරෝධතා රැළියක් ද මැනිලා නුවර පැවැත්විණි.

පිලිපීන රජය කැරැලි මර්දන පොලිසිය යොදවා විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ජල ප්‍රහාර, කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කෙරුණි.

විරෝධතා පැවැත් වූයේ ආසියාන් සමුළුව ‘විහිළුවක්’ බවටත් රාජ්‍ය නායකයන් රැස් වී කනවා, බොනවා හැර වෙන පලක් ඇති දෙයක් නොකරන බවටත් චෝදනා කරමිණි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS