හිම කඳු නායයෑමට හසුවී සිරවුණු බලු පැටව් තිදෙනෙක් බේරා ගැනෙති



ඉතාලි කඳුකරයේ ඉකුත් 18 වැනිදා සිදුවුණු හිම කඳු නායයෑමෙන් මුළුමනින්ම වැළැලී ගිය සංචාරක හෝටලයේ කාමරයක සිරවී සිටි බලු පැටව් තිදෙනකු හිම තට්ටු ඉවත් කරමින් බේරා ගැනීමට ඉතාලි ගිනි නිවන භටයෝ ඉකුත් දා සමත් වූහ.

හිම කඳු නායයෑම හටගත්තේ භූමි කම්පාවක් හේතුවෙනි. හිම තට්ටු ටොන් 60,000 කින් පමණ රිගෝපියානෝ පළාතේ සංචාරක හෝටලය යටවිය.

එදා සිට මේ දක්වා හෝටලයේ සිට අතුරුදන් වුණු පුද්ගලයන් 23 දෙනකු සොයමින් ගිනි නිවන භටයෝ හිම තට්ටු ඉවත් කරමින් සෝදිසි මෙහෙයුම් සිදු කරති.

එසේ හිම තට්ටු ඉවත් කරද්දී මෙම බලු පැටවු තිදෙනා හමුවුණු බවත්, උන් යහතින් සිටින බවත් ඉතාලි පුවත් සේවා වාර්තා කරයි. සුදු පැහැති අබුරූසෝ ෂීප්ඩෝග් වර්ගයේ මෙම බලු පැටවුන් තිදෙනා උපත ලබා ඇත්තේ පසුගිය දෙසැම්බරයේය.

 

(ඬේලිමේල්)


RECOMMEND POSTS