පොඩ්ඩා බේරාගන්න වතුරට පැන්න මනාලයා



මංගල උත්සවය දා උද්‍යානයක ඡායාරූපවලට පෙනී සිටි මනාලයකු එම උද්‍යානයේ කුඩා ගංගාවකට වැටුණු දරුවකු ගිලෙන්න නොදී බේරා ගැනීමේ වික්‍රමයක් කැනඩාවේ ඔන්ටෙරියෝ නුවරින් වාර්තා වෙයි.

මනමාලයා ක්ලේටන් කුක් නමැත්තාය. ඔහු මනාලිය වුණු බ්‍රිට්නි, දෙවැනි මනාලයන් මනාලියන් සහ මල් කුමර කුමරියන් ද පිරිවරාගෙන ඡායාරූප සඳහා පැමිණ ඇත්තේ ඔන්ටෙරියෝ නුවර කේම්බි්‍රජ් පාලම අසල පිහිටි උද්‍යානයටය.

ඡායාරූප ගැනීම සිදුවෙද්දී, උද්‍යානයේ ක්‍රීඩා කරමින් සිටි එක් පිරිමි දරුවකු හදිසියේ ලිස්සා ගඟට වැටී ඇත. පිහිනීමට නොහැකිව දරුවා උදව් ඉල්ලද්දී, දෙවරක් නොසිතා වහා දිව ගොස් මංගල ඇඳුම පිටින්ම ගඟට පැන දරුවා ගොඩට ගැනීමට ක්ලේටන් සමත් විය.

‘ඡායාරූප ගනිමින් සිටිද්දී මං දැක්කා පොඞ්ඩෝ ගඟ ළඟ සෙල්ලම් කරනවා. එක් දරුවකු ගඟ ළඟට හුඟක් කිට්ටු වුණා. මම ඒ ගැන විමසිල්ලෙන් සිටියා. ඔහු ගඟට වැටෙද්දී මම ඉක්මනින් දුවලා ගිහින් ගඟට පැන්නා.’ යැයි පසුව අදහස් දක්වමින් ක්ලේටන් පවසා තිබේ.
මංගල ඡායාරූප ශිල්පියා ඩැරන් හැට් එම වික්‍රමය ද ඡායාරූපයට නැගූ අතර ඔහු පසුව එම දසුන් මාධ්‍ය වෙත ලබා දුන්නේය. ‘ඒක සැබෑම වීර වික්‍රමයක්’ යැයි ඩැරන් හැට් පවසා තිබේ.

‘ක්ලේටන්ගේ හැටි එහෙම තමා. එයා කවදත් අනුන් වෙනුවෙන් කැප වෙලා ඉන්න කෙනෙක්. මට එයා විවාහ කර ගන්න හේතු වුණෙත් ඒ හින්දා තමයි.’ යැයි ක්ලේටන්ගේ බිරිය වුණු බ්‍රිට්නි අදහස් දක්වා ඇතැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

 (රොයිටර්)


RECOMMEND POSTS