ඉරාන ෂියාවරුන් ගෙන පීඩා විඳින බහායි සුළු ජාතීන්



 

ඉරානයේ විශාලතම සුලු ජන ප්‍රජාව ලෙස සැළකෙන බහායි ජනතාව විවිධාකාරයෙන් අසාධාරණයට සහ පීඩාවට ලක්වන ජන කොටසකි. 

මෙවැනි එක් අසාධාරණයක් වන්නේ බහායි ජනවර්ගයට අයත් කිසිවෙකුට ඉරානයේ විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලැබීමට ඇති තහනමය. බහායි ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍යාවක මුහුණදෙන ගැටලු උග්‍රවන්නේ පාසල් දිවිය නිමාකළ පසුවය.

බහායි ප්‍රජාව විසින් ටෙහෙරාන් නගරය තුළ රහසේ පවත්වාගෙන යනු ලබන බහායි සුලු ජන ප්‍රජාවට පමණක් සීමා වූ 'Bahai Institute for Higher Education (BIHE)' නමැති සරසවියට ඇතුළුවී ඇතැමුන් උසස් අධ්‍යාපනය ලබන්නේ මෙයට විසඳුමක් වශයෙනි.

'රහසිගත සරසවිය' තුළින් ප්‍රථම උපාධිය සඳහා අධ්‍යාපනය ලැබිය හැකි නමුත් පශ්චාත් උපාධියක් ලබා ගැනීමට අපේක්‍ෂා කරන බහායි ජාතිකයෙකුට ඇති එකම විසඳුම වන්නේ ඉරානයෙන් පිටවී එතෙර විශ්ව විද්‍යාලයකට ඇතුළුවීමය.

ශිරින් යනු ඉරානයේ සාමාන්‍ය සරසවිවලට යැවූ අයැදුම්පත් ප්‍රතික්ෂේප වීමෙන් පසු 'බහායි රහසිගත සරසවියෙන්'ප්‍රථම උපාධිය ලබා විදේශගතවූ බහායි සුලු ජන ප්‍රජාවට අයත් කාන්තාවකි. ශිරින් නමැති කාන්තාව තම ජීවිත අත්දැකීම බීබීසී මාධ්‍යෙව්දී ලිපිකා පෙලැම් වෙත මෙසේ හෙළිකළාය.

"මට මතකයි මගේ පියා ඔහුගේ හිසේ තිබුණු තුවාළ පෙන්නලා මට කියනව කුඩා කාලයේ ඔහු පාසැල් යනකොට නගරයේ ළමයින්ගේ ප්‍රහාරවලට ලක්වුණු හැටි" යනුවෙන් පැවසු ඇය සඳහන් කළේ තමා ද 1980 දශකයේ ඉරානයේ සිටියදී එවැනි අත්දැකීම්වලට මුහුණදුන් බව තම පියාගෙන් පවා වසන් කළ බවය. "මම හිතනව ඔහු ප්‍රර්ථනා කළේ ලෝකය යහපත් අතට හැරේවා කියල. ඒ වගේම ඔහු බලාපොරොත්තු වුණා ලෝකය යහපත් අතට හැරෙයි කියල" යනුවෙන් ඇය පැවසුවාය.

ශිරින්ගේ පියා එසේ සිතුව ද 1979 දී සිදුවුණු ඉස්ලාමීය විප්ලවයෙන් පසු බහායි සුලු ජන ප්‍රජාවට එරෙහි තාඩන පීඩනවල වැඩිවීමක් සිදුවිය.

ශිරින් ගේ පුතු කොස්රු අටවැනි වසරේ ඉගෙනුම ලබද්දී ඔහු බහායි ජන ප්‍රජාවට අයත් බව පාසලේ මිතුරන්ට හෙළිකළ සැනින් මිතුරන් ඔහු අතහැර ගිය බව ඇය පැවසුවේ වේදනාවෙනි.

"අනෙක් ළමයි මාව අල්ලන්නේ නැහැ. බැරිවෙලා හරි මම ඒ කෙනෙක්ව ඇල්ලුවොත් ඔවුන් ගිහිං නානවා පිරිසිදුවෙන්න" යනුවෙන් තම පුතු තමන්ට පැවසූ බව ශිරින් පැවසුවාය.

බාබි නමින් හඳුන්වන බහායි ආගම ආරම්භවූයේ දහනව වෙනි ශතවර්ෂයේ මැද භාගයේදීය. ඉරානයේ ෂියා මුස්ලිම් ජනතාව විසින් බහායිවරුන් අපගාමී පිරිසක් ලෙස සළකනු ලැබුවේ එහෙයිනි. එසේම බහායිවරුන් ෂියා මුස්ලිම්වරුන්ගේ ආගමික නායකයාවන මොහොමඩ් අවසාන ශාස්තෘවරයා ලෙස පිළිනොගැනීම ද තවත් හේතුවකි.

 

(තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි.......


RECOMMEND POSTS