අධි මිලැති අමුතු කමිසය



'බලෙන්සියාගා' (Balenciaga) වෙළෙඳ නාමය යටතේ උසස් තත්වයේ මිල අධික නිමි ඇඳුම් අලෙවියේ නියුතු ආයතනයක් මේවසරේ නවතම පිරිමි කමිසය වෙළෙඳපොළට නිකුත් කර තිබේ.

එය බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුම් 935ට (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න) මිල කර ඇත. නමුත් බොහෝ දෙනෙකු පුදුමයට පත් වූයේ මෙම කමිසයේ අධික මිල දැකීමෙන් නොව, එම කමිසයේ සුවිශේෂී නිර්මාණය දැකීමෙනි.

කමිසයේ උඩ කොටස දිස් වන්නේ තනි පාට ටීෂර්ටයක කොටසක් ලෙසින් වන අතර, එහි ඉදිරිපස කොටු සහිත කමිසයක් එල්ලා තිබෙනු දක්නට හැකිය.

මේ අමුතු නිර්මාණයට බොහෝ දෙනෙකුගෙන් යහපත් ප්‍රතිචාර ලැබුණේ නැත. මෙම 'කමිස ටීෂර්ටය' දෙආකාරයකට ඇඟලිය හැකි බව බලෙන්සියාගා ආයතන වෙබ් අඩවියේ සඳහන් වේ.

කෙසේ වෙතත්, තමන් ළඟ තිබෙන ඇඳුම් උපයෝගී කරගෙන මෙම නව කමිසය ගෙදරදීම අත්හදා බැලීමට බොහෝ පුද්ගලයන් කටයුතු කර තිබේ. එයින් තමන්ට විශාල මුදලක් ඉතිරි කරගැනීමට හැකිව ඇති බව ඔවුන් සමාජ මාධ්‍ය ජාලවල සටහන් කර තිබුණි.

( තිළිණි ද සිල්වා )

බී.බී.සී ඇසුරෙනි.


RECOMMEND POSTS