වකුගඩු නිරෝගීව තබා ගනිමු



අප මීට ප්‍රථම වකුගඩු රෝග පිළිබඳවත්, ඒ සඳහා බලපාන හේතු සාධක පිළිබඳවත් කතා කළෙමු. අද අප මෙම ලිපියෙන් කතා කිරීමට බලාපොරොත්තු වන්නේ තීව්‍ර වකුගඩු අකරණිය සඳහා ඇති ප්‍රතිකාරත්, වළක්වා ගැනීම සම්බන්ධයෙනුයි.

තීව්‍ර වකුගඩු අකරණියට ප්‍රතිකාර-

රෝහල් ගතවූ රෝගීන්ගේ  මෙම තත්ත්වය මූලික අවස්ථාවේදීම හඳුනා ගැනීමෙන් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය හැකිය. අවදානම් තත්ත්ව ආදියට භාජනය වූ රෝගීන්ට ආසාදන ඇති වුව හොත් මුත්‍ර පිටවන පරිමාව අඩු වීම තීව්‍ර වකුගඩු අකරණියේ එක් ලක්ෂණයකි. මෙවැනි අඩු වීමක් දිගින් දිගටම පෙන්නුම් කෙරේ නම්  වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.

තීව්‍ර වකුගඩු අකරණිය බරපතළ ලෙස වර්ධනය වූ විට  තාවකාලිකව රුධිර කාන්දුකරණය  ලබා දීම සිදු කෙරේ.  නිවැරැදි  ප්‍රතිකර්ම නිසි වෛද්‍ය උපදෙස්වලට  අනුකූලව දින කිහිපයක් හෝ සති කිහිපයක්  ලබා දීමෙන් බොහෝ දුරට වකුගඩුව යථා තත්ත්වයට පැමිණේ.

එහෙත් ඉතාමත් කලාතුරකින් මෙවැනි තත්ත්ව යටතේ වුවද  වකුගඩුව ස්ථිරවම අකර්ම්‍ණ්‍ය විය හැකිය.  එමෙන්ම මෙම අවස්ථාවේ වකුගඩුව යථා තත්ත්වයට පත් වුවද  පසු කාලයේදී කාලීන වකුගඩු අකරණිය හට ගැනේ.

තීව්‍ර වකුගඩු අකරණිය  වලක්වා ගත හැකිද ?

මූලික වශයෙන්ම පාචනය, වමනය, උණ වැනි රෝග ලක්ෂණ ඇති  අවස්ථාවලදී විජලනය වලක්වා ගත යුතුයි. මෙහිදී විජලනය වලක්වනු වස් ජලය වැඩිපුර පානය කළ යුතු වේ. වමනය තත්ත්වය නොනවත්වාම හෝ තදබල ලෙස ඇත්නම්  රෝහලක් වෙත යොමු විය යුතුය.

විජලනය වලක්වා ගත යුතු විශේෂිත පුද්ගලයෝ සිටිති. එනම් දියවැඩියා රෝගීන්, හෘද අමාරු ඇති අය, දැනටමත් වකුගඩු ආබාධවලින් පෙළෙන්නන්  සහ අවුරුදු 65 ට වැඩි වයස්ගත වූවන්ය. මෙවන් තත්ත්වයකදී තමන් පිට කරන මුත්‍ර ප්‍රමාණය  පිළිබඳව වඩා අවධානයෙන් සිටිය යුතුය. එවන් අවස්ථාවලදී ඔබ හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය.

එක්සත් රාජධානියේ ඩම්ෆ්‍රීස් සහ ගැලොවේ ජාතික වෛද්‍ය සේවයේ වකුගඩු සහ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීකා රත්නමලල

- සටහන - මාධවී ධර්මරත්න


RECOMMEND POSTS