රස ගුණ සපිරි රඹුටන්



මේ දිනවල වෙළෙඳපොළේ සුලබව දැකිය හැකි පලතුරක් ලෙස රඹුටන් හඳුන්වා දිය හැකිය.

වසරේ සෑම දිනකම අපේ ඇස නොගැසෙන පලතුරක් වන මෙය දැක ගත හැකි වනුයේ ජූනි, ජූලි මාසවලදීය. පලතුරක් ලෙස ලොකු කුඩා කා අතරත් ප්‍රසිද්ධ රඹුටන් පිළිබඳ ඇතැමුන් කෙබඳු මතයක් පිළිපැද්ද ද ලෙඩ රෝග ගණනාවකටම දිව ඔසුවක් සේම ඉන් ලැබෙන පෝෂණීය ගුණය ද අතිමහත් වේ.

ඇතැම් පුද්ගලයන් දරන වැරැදි මත නිසා රඹුටන් ආහාරයට නොගැනීමෙන් එහි රස නොවිඳින්නේ ඔබ බියට පත්ව ඇති බැවිනි. රඹුටන් කෑමෙන් උෂ්ණය අධික වේය යන්න පැරැණි මතයකි. අපි මෙහි ඇත්ත නැත්ත දැන ගනිමු.

රඹුටන්වල අහිතකර බලපෑම් -

රඹුටන් ඇට කෑම නුසුදුසුය. යම් හෙයකින් ඔබට එය විස විය හැකිය.

ශාකයේ පල හට ගන්නා කාලයට මී මැස්සන් වැඩිපුර එන බැවින් ඔබ මී මැසි උවදුරින් පරෙස්සම් වන්න.

බිම වැටී ඇති පල අනුභවය නුසුදුසුය.

රඹුටන් කටින් කඩන්නේ නැතිව අතින් කඩා ආවරණය ඉවත් කර ගන්න.

බඩ රිදුම් ඇති රෝගීන් මෙම පලතුර අනුභවයෙන් වලකින්න.

බඩ වියළී ඇති පුද්ගලයන්ටද සුදුසු නොවේ.

දිනකට සුදුසු ප්‍රමාණය ඉක්මවා ආහාරයට ගැනීමෙන් උණ වැනි ආසාදන තත්ත්ව ඇති විය හැකිය. එසේ වන්නේ රඹුටන් ගුණයෙන් වැඩි වීම නිසා වැඩි ප්‍රමාණය උෂ්ණය ලෙස සිරුරෙන් ඉවත් වීමයි.

රඹුටන්වල ගුණ -

මෙය සීනි සහිත පලතුරකි. ස්වාභාවිකව සොයා ගත හැකි සීනි වර්ග 02ක් වන  'Fructose ' සහ 'sucrose 'යන දෙවර්ගයම අඩංගු වේ. එම නිසා කුඩා දරුවන්ට වුවද දිය හැකි පලතුරකි.

අඩු කැලරි ප්‍රතිශතයක් අඩංගු වීම තුළ වැඩි ප්‍රමාණයක් ආහාරයට ගත්තද සිරුරේ බර ප්‍රමාණය වැඩි නොවේ.

විටමින් සී, ඩී, ඒ, පොටෑසියම්, බේටා කැරොටින් විශාල ප්‍රමාණවලින් අන්තර්ගත වේ. ඊට අමතරව කැල්සියම්, මැග්නීසියම්, සින්ක්, සෝඩියම් සහ ආහාර ජීර්ණයට අවශ්‍ය කෙරෙන  කෙඳි හොඳ ප්‍රෝටීන වර්ගද අඩංගු වේ. අනාදිමත් කාලයක සිට මැලේසියාව සහ ඉන්දුනීසියාව වැනි රටවල් දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝග සඳහා ඖෂධයක් ලෙසද භාවිත කොට ඇත. ඊට අමතරව බඩේ අමාරු තත්ත්ව ආදියටද ඔසුවකි.

තායිලන්තයේ 'chiang mai ' විශ්වවිද්‍යාලය කළ පර්යේෂණවලට අනුව රඹුටන්වල flavonoibs වැඩිපුර ප්‍රතිශතයක් අඩංගු වේ. flavonoibs විසහරණ ක්‍රියාවලියේදී විශාල මෙහෙයක් ඉටු කරයි. එය කොලෙස්ට්‍රෝල්, පිළිකා සහ අනෙක් රෝග පීඩාදියෙන් ආරක්ෂිත පටලයක් ලෙස ක්‍රියාත්මක වේ.

කාබනික ආහාරවල ඇති  gallic acid ද්‍රව්‍යය මගින් අපේ සිරුරට ඇතුල් වන විසෙන් ආරක්ෂා කරයි. විටමින් සී දිනකට අවශ්‍ය ප්‍රමාණය වන්නේ 75mg - 90  mg වේ. මෙම ප්‍රමාණය දිනකට රඹුටන් ගෙඩි 10ක් පමණ කෑමෙන් ලබා ගත හැකිය. යකඩ සිරුරට අවශෝෂණය කිරීම සඳහා අනිවාර්යෙන්ම විටමින් සී තිබිය යුතුය. විටමින් සී ඌනතාව ඇති පුද්ගලයන්ට යකඩ ඌනතාව ඇත.

රඹුටන්වල කොපර් කුඩා ප්‍රමාණයකින් අඩංගු වන නිසා රුධිරානු සෑදීමේ කාලයේදී එය විශාල කර්තව්‍යයක් ඉටු කරයි. රතු රුධිරානු ඌනතාව නිසා අපේ සිරුරේ ඇති සුදු රුධිරානු ප්‍රතිශතයේ ඉහළ යාමක් සිදුවේ. එම තත්ත්වය රුධිරය ආශ්‍රිතව හට ගන්නා රුධිර පිළිකා ආදියට අත වැනීමකි.

ඒ අනුව රඹුටන් කෙතරම් ගුණදායී පලතුරක්ද යන වග පෙනෙනවා නේද?

- ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන

- සටහන- මාධවී ධර්මරත්න


RECOMMEND POSTS