සොරකම් අල්ලන්න කමිටුවක්



ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පසුගිය සමයේ සිදුවී යැයි කියන දූෂණ අක්‍රමිකතා ගැන සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට විදේශ සබඳතා නිපුණතා සංවර්ධන රැකී රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පියවර ගෙන ඇත.

වෘත්තිය සමිති හා වෙනත් අංශ විසින් පෙන්වා දී ඇති කරුණු අනුව මෙම කමිටුව පත්කිරීම යෝග්‍ය බවට අමාත්‍යවරයා තීරණය කර ඇතැයි කම්කරු ස`බදතා අමාත්‍යංශ්‍ය කියයි.

දේශපාලන අවශ්‍යතා මත උසස් වීම් ලබා දීම, තානාපති කාර්යාල සේවය සඳහා සුදුසුකම් නැති පුද්ගලයින් පත් කිරීම, සමහර සේවක සංගම්වල නිර්දේශ මත උසස් වීම් ලබා දීම, රන් පියාපත් ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති රාශියක් තුළින් කාර්යංශයේ මුදල් අවභාවිත කිරීම,  වැනි කරුණු පිළිබඳව මෙම කමිටුවේ අවධානය යොමු කරනු ඇතැයිකම්කරු සබඳතා අමාත්‍යංශයේ ජ්‍යෙශ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

පවුල් පසුබිම් වාර්තා ලබාගත නොහැකි කාන්තාවන් 3500 කට අධික සංඛ්‍යාවක් විදේශගත කිරීමට කටයුතු කර ඇතැයි ද පන්නිපටිය පුහුණු මධ්‍යස්ථානය මුල් කරගෙන නුපුහුණු ශ්‍රමිකයන් විදේශගත කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක කොට ඇතැයි ද මේ වනවිට හෙළි වී ඇති බැවින් ඒ ගැන සොයා බැලීම ද මෙම කමිටුව පත්කිරීමේ අරමුණු අතර වන බව හෙතෙම කියා සිටියේය.

එමෙන්ම 2014 වසර වනවිට වාර්ෂිකව 300000 කට අධික පිරිසක් රැකියා සඳහා විදේශ ගත වී ඇති නමුත් 2018 වනවිට එය දෙලක්ෂයකටත් වඩා අඩුවී  තිබීම මෙන්ම කාර්යංශයේ මුදල් අවභාවිත කරමින් අවාසි සහගත ලෙස කුලි පදනම යටතේ වාහන ලබාගැනීමේ සිද්ධියක් පිළිබඳව ද මෙහිදී අවධානය යොමුකරනු ඇතැයි එම නිලධාරියා කියා සිටියේය.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS