සමාජ ඒකාබද්ධභාවයට ඍණාත්මක බලපෑමක්



‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වීමෙන් මරණයට පත් යැයි සැක කෙරෙන පුද්ගලයන්ගේ මළ සිරුරු සෞඛ්‍ය පිළිවෙත් අනුව භූමදානය කිරීමට නොදීමෙන් සමාජ ඒකබද්ධභාවයට ඍණාත්මක බලපානු ඇති බවත් වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට ගන්නා ක්‍රියාමාර්ගවලට අහිතකර ලෙස බලපානු ඇති බවත් මෙරට එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරිවරිය වන හනා සිංගර් මහත්මිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත.

එලෙස මළසිරුරු භූමදානය කිරීමට ඉඩ නොදීමෙන් වයිරස  ආශ්‍රිතයකු මුණ ගැසුණු හෝ රෝග ලක්ෂණ හෝ ඇති පුද්ගලයන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට යොමු නොවී සිටිනු ඇතැයි ද ඇය සිය ලිපිය මඟින් අග්‍රාමාත්‍යවරයාට දන්වා ඇත.

මළසිරුරු භූමදානය සම්බන්ධයෙන් දැනට ඇති ප්‍රතිපත්තිය අසාධාරණ හා වෙනස්කොට සැලකීමක් යැයි මුස්ලිම් ප්‍රජාවෙන් සහ ඊට පරිබාහිර පාර්ශවවලින් තමන්ට හැඟීම්බර ආයාචනා ඉදිරිපත් වූ බවත් ඒ සම්බන්ධයෙන් ඔබ (අග්‍රාමාත්‍යවරයා) දැනුවත් කිරීම වැදගත් යැයි තමන් සැලකූ බවත් හනා සිංගර් මහත්මිය සිය ලිපියේ සඳහන් කර ඇත.

‘කොවිඩ්-19’ ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ මළ සිරුරු භූමදාන තහනම නැවත සලකා බැලීමට ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සැලකිල්ලට ගනිමින් එම ලිපිය යොමු කරන බව ඇය එහි සඳහන් කර තිබේ.

‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ මළසිරුරු ආදාහනය කිරීම දැනට ඇති එකම ක්‍රමවේදය බවට වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ වත්මන් මාර්ගෝපදේශය පිළිබඳව එක්සත් ජාතීන්ගේ අවධානය යොමුව ඇති බව නැවතත් දැන්වීමට කැමැති යැයි ද හනා සිංගර් මහත්මිය යොමු කළ ලිපියේ සඳහන් ය.

“කොවිඩ්-19 වයිරසයට අදාළව මළ සිරුරක් ආරක්ෂිතව හසුරුවන (කළමනාකරණය කිරීම) සහ වයිරසය ආසාදනය වීමෙන් වැළැකීම/ආරක්ෂා වීම” සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය 2020 මාර්තු මස 20 වැනිදා මාර්ගෝපදේශ නිකුත් කළ බවත් 2020 සැප්තැම්බර් මස 4 වැනිදා අදාළ මාර්ගෝපදේශ යාවත්කාලීන කරමින් අතුරු මාර්ගෝපදේශ නිකුත් කළ බවත් ඇය සඳහන් කර තිබේ.

ඒ අනුව දැනට ඇති අවබෝධය හා දැනුම මත වයිරසය ආසාදනය වන්නේ කෙළබිඳිති හෝ ආශ්‍රයෙන් බවත් මළ සිරුරකින් වයිරසයේ ආසාදනය වීමේ හැකියාව ඉතා අවම බවත් ඇය සඳහන් කර ඇත.

බෝවෙන රෝගයකු යම් පුද්ගලයකු මියගිය විට ඔහුගේ හෝ ඇයගේ සිරුර ආදාහනය කළ යුතු බවට සමාජයේ පොදු මතයක් තිබෙන නමුත් තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් නැති බවත් ඇය සිය ලිපියේ සඳහන් කර තිබේ.

එමෙන්ම මළසිරුරු ආදාහනය කිරීම සංස්කෘතික තේරීමක් සහ තිබෙන සම්පත් අනුව තීරණය වන්නක් බවත් ඇය සඳහන් කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වීමෙන් මිය යන අයගේ මළ සිරුරු ඒ ඒ රටවල පිළිවෙත් හා ප්‍රමිති සහ පවුලේ කැමැත්ත අනුව එම දේහයන්වල අවසන් කටයුතු කිරීම සම්බන්ධයෙන් ක්‍රමවේදවලට අනුව භූමදානය හෝ ආදාහනය කළ හැකි බව ද ඇය සිය ලිපියේ සඳහන් කර ඇත.

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS