විදේශ රැකියාවේදී මියගිය හා රෝගී වූ ශ්‍රමිකයින්ට වන්දි දෙයි



විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් සිටියදී මරණයට පත්වූ හා විවිධ හේතුමත රෝගී වූ ශ්‍රමිකයින් සඳහා රුපියල් ලක්ෂ 80ක වන්දි මුදලක් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී ඊයේ (01) ප්‍රදානය කළේය.

විවිධ තාක්ෂණික හේතු නිසා කාර්යාංශය මගින් නොමිලේ ලබාදෙන රක්ෂණ වන්දි ලබාගැනීමට නොහැකිවූ ශ්‍රමිකයින් හතලිස් එක් දෙනෙකු සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුභසාධක අරමුදල මගින් මෙම වන්දි පිරිනැමිණි.

මෙහිදී ලබාදුන් වන්දි මුදල් අතරට විදේශ රැකියාව අතරතුරදී හා මෙරටට පැමිණීමෙන් පසු සිදුවූ මරණ 15 ක් සඳහා රු.4,150,000.00 ද, වෛද්‍යාධාර සඳහා ශ්‍රමිකයින් 22 දෙනෙකු වෙනුවෙන් රු.3,200,000.00, විදේශ රැකියාව අතරතුරදී සිදුවූ හිරිහැර හේතුවෙන් ශ්‍රමිකයින් තිදෙනෙකු සඳහා රු.450,000.00 හා යැපෙන්නන් සඳහා එක් ශ්‍රමිකයෙකු වෙනුවෙන් රු.150,000.00 ක මුදලක්ද  පිරිනමන ලදී. මෙහිදී ශ්‍රමිකයින් 41 දෙනෙකු වෙනුවෙන් පවුලේ සාමාජිකයින් 63 දෙනෙකු සඳහා මෙම මුදල් ලබා දී ඇත.

විදේශ රැකියාවල නිරතව සිටියදී අනතුරුවලට ලක්වූවන්ට ලබාදෙන රක්ෂණ වන්දි සදහා හිමිකම් නොකියන විදේශ ගතවූ ශ්‍රමිකයින් සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා ඇතුළු කමිටුවක් විසින් කළ නිර්දේශ අනුව මෙම මුදල් ලබාදෙන බව විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය. එසේම 2017 වර්ෂය තුළදී විගමණික ශ්‍රමිකයින් 113 දෙනෙකු සඳහා සේවක සුභසාධක අරමුදල මගින් රු.22,900,000.00ක මුදලක් පිරිනමා තිබේ.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS