වසර 12ක් සෞදියේ වහල් සේවයේ යෙදුණු කේජේශ්වරීට හිඟ වැටුප් ලබා දෙයි.



 ( විනීතා එම් ගමගේ)


    සවුදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙස වසර 12 ක් තිස්සේ කිසිදු වැටුපක් නොලබා වහල් සේවයේ යෙදුණු තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් මුදවාගෙන ඇයට හිමි හිඟ වැටුප් ලෙස සවුදි රියාල් 35000 (රුපියල් 13,62,525) ලබා දීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය හා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමත්ව ඇත.
    දකුණු ඉන්දියාවේ සරණාගත කඳවුරක සිට තම මව බැලීම සඳහා පැමිණි අවස්ථාවක තැරුව්කරුවෙකු විසින්  මෙම කාන්තාව විදේශ ගත කර ඇත්තේ මුස්ලිම් කාන්තාවක ලෙස ව්‍යාජ හැ`ඳුනුම් පතක් සකස් කිරීමෙනි. එහෙත් ඇය ශ්‍රී ලංකා  විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වී විදේශ ගත වී ඇති අතර ඉකුත් වසර 12 තිස්සේ ම ඇය පෙනී සිට ඇත්තේ එකී මුස්ලිම් නමිනි.
    මේ හේතුව නිසා ඇගේ හිමිකම් ලබා දීමේ දී ප්‍රශ්න රැසකට මුශුණ දීමට සිදුව ඇතැයි කාර්යංශය කියයි. මේ අතර ඇය විදේශ ගත වන අවස්ථාව වන විට ඇගේ සැමියා සහ දරු දෙදෙනා සිට ඇත්තේ දකුණු ඉන්දියාවේ සරණාගත කඳවුරකය.
කෙසේ වෙතත් මේ සම්බන්ධව අදාළ අංශ මැදිහත් කරගෙන කේජේශ්වරී ගේ හිමිකම් ලබා දීමට කටයුතු කරන බව විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය ලංකාදීපයට පැවැසුවාය.
තමන්ට හිමි හිඟ වැටුප් ලබා ගැනීමට කාර්යංශයට පැමිණ සිටි අවස්ථාවේ කේජේශ්වරී මහත්මිය ලංකාදීපයට මෙසේ කීවාය.
’‘ මම ඉපදුණේ 1981 ජනවාරි 9 දා වව්නියාවේ දී. මට අවුරුදු හතරක් වෙද්දි ඒ කියන්නේ 1985 දි ආච්චිත් එක්ක මම ඉන්දියාවට ගියා. ඒ ගියේ මෙහේ යුද්ධය ඇවිලිල යන කාලෙ. අපි ජීවත් වුණේ තිරුණාමලෙයි ආරතී කියන සරණාගත කඳවුරේ.
කඳවුරේ දි මම විවාහ වුණා. මගේ සැමියා සෙබස්කතියන් තෝමස්. මට දරුවො දෙන්නෙක් ඉන්නවා. දුව සගාස්වරී, පුතා ඇන්තනි. දුවට දැන් 18 යි. පුතාට 15 යි. අවුරුදු 16 කට පස්සේ 2003 නොවැම්බර් 20 දා මම අම්මා බලන්න වව්නියාවට ආවා. ඒ ආවෙ දරු දෙන්නයි සැමියායි සරණාගත කඳවුරේ ඉ`ඳිද්දි තනිවමයි.
ඒ ආපු වෙලාවේ වව්නියාවේදී හමුවුණ විදේශ රැකියා තැරුව් කරුවෙක් මාව රට යවන්න පුළුවන් කීවා. ඔහු ඒ සඳහා ලිය කියවිලි හදල  2015 ජනවාරි 15 දා මාව සවුදි රටට යැව්වා. මට පාස්පෝට් හැදුවේ සරිනා සලිම් නමින්. මේ නිසා මට එදා ඉඳල සරිනා සලිම් නමින් පෙනී සිටින්න සිදුවුණා.
මම වැඩ කළ ගෙදර මට මාස තුනයි පඩි දුන්නේ. අවුරුදු 12 ක් තිස්සේ වැඩ කළා. මම තේරුම් ගත්තා මට මෙහෙම හිටියොත් කවදාවත් මට මගේ අය හමුවෙන්න නොලැබෙන බව. දවසක් මම ගෙදරින් පැනල තානාපති කාර්යාලයට ගියා. එහි මහත්වරු කාර්යංශයටත් දන්වලා මට ලැබෙන්න තියෙන දේවල් ලබාදෙන්නත් කටයුතු කරල ලංකාවට එව්වා. ” යැයි ඇය පැවැසුවාය.
විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය පසුගියදා කේතේෂ්වරී හමුවී ඇයගේ හිමිකම් වෙනුවෙන් ලැබී තිබූ මුදල් ඇයට බාර දුන්නාය. නමුත් ඇයට බැංකු ගිණුමක් නොමැති බැවින් කාර්යංශය භාරයේ තබාගත් අතර ඇය තම පවුලේ සාමාජිකයින් වෙත යන අවස්ථාවේ දී එම මුදල් ලබා ගන්නා ලෙස ඇයට දැන්වූවාය.    
කෙසේ වෙතත් ඇයට ගමන්බලපත්‍රය හෝ වෙනත් කිසිදු ලියවිල්ලක් නොමැති බැවින් ඒවා සකස්කර දීමට පෞද්ගලිකවම මැදිහත් වන බව කී අතුකෝරල මහත්මිය ඒ සඳහා කටයුතු කරන්නැයි නිලධාරින්ට දැනුම් දුන්නාය.



(කේජේශ්වරී මහත්මියට හිඟ වැටුප් වශයෙන් ලද රුපියල් දහතුන් ලක්ෂයකට ආසන්න මුදල විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය විසින් ඇයට භාර දුන් අවස්ථාව. කාර්යංශයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ නීතිඥ උපුල් දේශප්‍රිය, එහි විදේශ සබඳතා අංශයේ පරිපාලන නිලධාරී ඉලාම් කාසිම්, කාර්යංශයේ කළමණාකරු (ප්‍රචාරක) මොහමඞ් මලික් යන මහත්වරුද ඡායාරූපයේ වෙති.)


RECOMMEND POSTS