වන්දනාකරුවෝ ආපසු ගෙන්වා ගන්නවා



දැනට ඉන්දියාවේ සිටින ලාංකික බෞද්ධ වන්දනාකරුවන් 1200 දෙනෙකු  කඩිනමින් නැවත සියරට පිටත් කිරීමට අවශ්‍ය  කටයුතු නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හා චෙන්නායි නුවර පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය එක්ව  පහසුකම් සලසමින් සිටින බව විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටී.

වේගයෙන් පැතිරෙන කොවිඩ්-19 වෛරසය නිසා පනවා ඇති සංචාරක හා වෙනත් සීමාකිරීම් සැලැකිල්ලට ගනිමින් විදේශ සබඳතා අමාත්‍යාංශයේ හා බුද්ධ ශාසන අමාත්‍යාශයේ සම්බන්ධීකරණය යටතේ මෙම පියවර  ගනිමින් සිටින්නේ යැයිද එම අමාත්‍යාංශය පෙන්වා දේ.

නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හා චෙන්නායි නුවර පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය විසින් සොයාගනු ලැබූ තොරතුරු අනුව මෙරට වන්දනා නඩ විසිදෙකකට අයත්  ලාංකික වන්දනාකරුවෝ එක්දහස් දෙසීයක් පමණ දැනට ඉන්දියාවේ සිටින්නේ යැයිද එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.

පවතින තත්ත්වය සැලැකිල්ලට ගනිමින් නැවත දිවයිනට යෑමට කටයුතු කඩිනම් කරන ලෙසට එම තානාපති කාර්යාල වන්දනා නඩවලින් ඉල්ලීමක් කොට ඇතැයි  එම අමාත්‍යාංශය කීය.

මෙම වන්දනාකරුවන් ඉන්දියාවට පැමිණ ඇත්තේ රජය ඉකුත් 09 වැනිදා  දඹදිව වන්දනා චාරිකා තාවකාලිකව අත්හිටුවීමට පෙර යැයි ද එම අමාත්‍යාංශය කියයි.

කෙසේ වුවද,ඇතැම් වන්දනා නඩ මේ අවස්ථාව වන විට සංචාරයේ යෙදී සිටීම හේතුවෙන් ඉන්දියාවේ පිහිටි  ලාංකික බෞද්ධ විහාර සහ වන්දනා නඩ සම්බන්ධ කරගැනීමෙන් ගණනය කරනු ලැබූ මෙම සංඛ්‍යා ලේඛනවල ඇතැම් වෙනස්කම් ඇති විය හැකි බවද අමාත්‍යාංශ කියා සිටී.

මෙම වන්දනාකරුවන්ගෙන් බොහෝ දෙනකු ඉදිරි දින කිහිපය තුළ නවදිල්ලිය හා චෙන්නායි නුවර හරහා යළි  ලංකාවට පැමිණීමට නියමිත අතර  ගුවන් ප්‍රවේශ පත්‍ර වෙනස් කරවාගැනීමට අදාළ ගුවන්සේවා සමාගම් සමඟ සාකච්ඡා කිරීමද ඇතුළුව එම වන්දනාකරුවන් යළි පිටත්කිරීමේ කටයුතුවලට ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පහසුකම් සපයන බවද විදේශ සබදතා අමාත්‍යාංශය පැවසීය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS