ලාංකික ශ්‍රමිකයිනුත් ඉතියෝපියාවට !



ඉතියෝපියාවේ සමාගම් වල සේවය කිරීම සඳහා පළපුරුදු වෘත්තිකයින් හෝ නුපුහුණු  සේවකයින්  ලබාදීමට  ශ්‍රී ලංකාවට හැකි බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා  එරට රජයට දන්වා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

ඉතියෝපියාවේ නිල සංචාරයක නිරතවූ  අමාත්‍ය මංගල සමරවීර මහතා ඉකුත්දා  අඩිස්අබා නුවරදී එරට විදේශ අමාත්‍ය අචාර්ය වර්ක්නේ ගෙබ්යෙහු මහතා සමග ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

දෙරටේ විදේශ අමාත්‍යවරුන්  අතර පැවති මෙම ද්විපාර්ශවික හමුවේදී ඉදිරියේ දී රටවල් දෙක අතර ද්විපාර්ෂික සහයෝගීතාවය සඳහා කෘෂිකර්මය, කෘෂී සැකසුම්, රෙදිපිළි කර්මාන්තය, සන්නිවේදනය  සහ විදුලි සංදේශ ආදී අංශ යෝග්‍ය බවට කරුණු සාකච්ඡා වූ  බව එම අමාත්‍යාංශ කියා සිටී.

අඩිස් අබාබා අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් ආරම්භ කිරීමෙන්  දෙරටේ වෙළඳ, ආයෝජන හා සංචාරක කටයුතුවල වර්ධනයක් අපේක්ෂා කළ හැකි බවත් ,ඒ හරහා එම අංශ වැඩි දියුණූ කරගැනීමට ශ්‍රී ලංකාව හා ඉතියෝපියාව බලාපොරොත්තු වෙන බව ද එම ප්‍රකාශයේ සඳහන් වෙයි

ශ්‍රී ලංකාව හා ඉතියෝපියාව සමාන දරුණු සිවිල් යුධමය වාතාවරණයක් පැවති රටවල් වන බැවින් මෙම රටවල් දෙක අතර ශක්තිමත් ද්වි පාර්ශවික සබඳතා පැවැත්වීමේ වැදගත්කම සහ  ජාත්‍යන්තර සමුළුවලදී අන්‍යොන්‍ය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය  ඉතියෝපියානු විදේශ අමාත්‍යවරයා විසින් මෙහිදී පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාවෙහි සංචාරයක නියැලෙන්නැයි   විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා කළ නිල ඇරයුම  ඉතියෝපියා විදේශ අමාත්‍ය  ආචාර්ය වර්ක්නෙ ගෙබ්යාහු මහතා විසින් මෙහිදී පිළිගන්නා ලදී.

මෙම ද්විපාර්ශවික හමුවේදී දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික උපදේශකත්වය පිළිබඳ අවබෝධතා ගිවිසුමකටද, ද්වීපාර්ශ්වික වෙළඳාම හා ආර්ථික සම්බන්ධතා වැඩි දියුණු කිරීමේ හැකියාවන් තවදුරටත් සොයා බැලීමේ ඒකාබද්ධ සහයෝගිතා කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීම පිළිබඳ ගිවිසුමකටද දෙරටේ  විදේශ කටයුතු අමාත්‍යවරුන් විසින් අත්සන් කරන ලදී.

ඡායාරූප කැප්ෂනය - දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික උපදේශකත්වය පිළිබඳ අවබෝධතා ගිවිසුමකටද, ද්වීපාර්ශ්වික වෙළඳාම හා ආර්ථික සම්බන්ධතා වැඩි දියුණු කිරීමේ හැකියාවන් තවදුරටත් සොයා බැලීමේ ඒකාබද්ධ සහයෝගිතා කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීම පිළිබඳ ගිවිසුමකට විදේශ අමාත්‍ය මංගල සමරවීර සහ එරට විදේශ අමාත්‍ය අචාර්ය වර්ක්නේ ගෙබ්යෙහු මහත්වරුන් අඩිස්අබා නුවරදී අත්සන් තැබූ අයුරු ඡායාරූපයේ දැක්වේ.


( ඡායාරූපය විදේශ කටයුතු අමාත්‍යාංශයෙනි.)

 

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS