ලංකාවට අලුත් සාමාජිකත්වයක්



මැදපෙරදිග රටවල් රැසක් සාමාජිකත්වය උසුලන ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුවේ නව සාමාජික රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ඒකමතිකව පිළිගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශ්‍ය කියා සිටී.

ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුවේ සාමාජික රාජ්‍යයන් අතර ඊජිප්තුව, ඉරානය, ඉරාකය, ඊශ්‍රායලය, ජෝර්දානය , බහරේනය, පලස්තීනය, කටාරය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, යන මැදපෙරදිග රටවල්ද ,  ඇෆ්ගනිස්ථානය, අසර්බයිජානය, බංගලාදේශය, කාම්බෝජය, චීනය, ඉන්දියාව, , කසක්ස්ථානය, කිර්ගීස්ථානය, මොංගෝලියාව, පාකිස්ථානය, කොරියාව, රුසියාව, තජිකිස්ථානය, තායිලන්තය, උස්බෙකිස්ථානය හා වියට්නාමය යන රටවල් වේ.

ඒ අනුව ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුවේ පූර්ණ සාමාජිකත්වය ලබාගැනීම සඳහා නව සාමාජික රාජ්‍යයක් විසින් අත්සන් තැබිය යුතු අනිවාර්ය ලේඛන ද්විත්වය වන ‘ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුවේ සාමාජික රාජ්‍යයන් අතර සම්බන්ධතා මෙහෙයවන ප්‍රතිපත්ති ප්‍රකාශනය’ ට හා ‘අල්මාටි කතිකාව’ ට මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා ඉකුත් 15 වැනිදා චීනයේ බීජිං නුවර පැවති උත්සවයකදී අත්සන් තැබීය.

ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුව, ආසියාවේ සාමය, ආරක්ෂාව හා ස්ථාවරභාවය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් 1992 වසරේදී ස්ථාපිත කරනු ලැබූවක් වන අතර ශ්‍රී ලංකාව 2012 වසරේ සිට එහි නිරීක්ෂණ රාජ්‍යයක් ලෙස කටයුතු කොට ඇත.

ශ්‍රී ලංකාව මෙම සමුළුවේ සාමාජිකත්වය ලබාගැනීම එහි සෙසු සාමාජික රාජ්‍යයන් සමඟ පවත්නා ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික, ආර්ථික හා වෙළෙඳ සහයෝගීතාව මෙන්ම අන්තර් පුද්ගල සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීමට හේතුවනු ඇත.

සමුළුවේ වත්මන් සභාපතිත්වය චීනය විසින් දරනු ලබන අතර එහි මහලේකම් කාර්යාලය කසක්ස්ථානයේ අස්තානා නුවර පිහිටා ඇත.

 ( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS