යළිත් ලංකාවට ඇහැ ගහයි !



මානව හිමිකම් පිළිබද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු විසින් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ලබන මාර්තු 21 වනදා ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයේදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කරන බව ජීනීවා තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී.

ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් සුරක්ෂිත කිරීමට රජය විසින් මෙතෙක් ගෙන ඇති ක‍්‍රියාමාර්ග වල ප‍්‍රගතිය ගැන මානව හිමිකම් මහකොමසාරිස්වරයා මෙහිදී කරුණු දක්වන බවද එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

පසුව එය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සභාගත කෙරෙනු ඇතැයිද සඳහන් වේ.

මෙරට යුද්ධයෙන් පසු සංහිඳියා ක‍්‍රියාවලිය සහ යුද්ධයේදී සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් 2015 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය යෝජනාවක් සම්මත කරගත්තා.

එහි නිර්දේශ ක‍්‍රියාවට නැංවීම සඳහා ලබාදී තිබූ කාලසීමාව පසුගිය 2017 වසරේ දී තවත් වසර 02 කට දිගු කරනු ලැබුවා.  ඒ, පසුගිය වසරේ මාර්තු මාසයේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරුණු 34 - 1 යෝජනාව යටතේයි.

එම යෝජනාවට අනුව මානව හිමිකම් සුරක්ෂිත කිරීම අතින් ශ‍්‍රී ලංකාව ලබා ඇති ප‍්‍රගතිය පිළිබඳව ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා 37 වන සැසිවාරයේදී විශේෂ ප‍්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

අදාළ සැසිවාරය ලබන 28 වැනිදා සිට  මාසයේ පැවැත්වෙන අතර ඒ අනුව මාර්තු 21 වනදා ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් අදාළ ප‍්‍රකාශය සිදුකරනු ඇති.

මානව හිමිකම් මහකොමසාරිස්වරයා විසින් සිදු කරන එම ප‍්‍රකාශයට ශ්‍රී ලංකාව වෙනුවෙන් කරුණු දැක්වීමට මෙරට රජයේ නියෝජිත පිරිසක්ද ජිනීවා බලා පිටත්ව යෑමට නියමිත අතර  ඔවුන් මෙහිදී ශ‍්‍රී ලංකාව මානව හිමිකම් අතින් ලබා ඇති ප‍්‍රගතිය ගැන මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් දැනුවත් කරනු ඇත.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS