මුදල් සොරාගත් 6 කට නඩු



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදී  ඩිරාම් එකොළොස් ලක්ෂ අනූ අට දහසක මුදලක් ( ශ්‍රී ලංකා මුදලින් රුපියල් පන් කෝටි අසූපන් දහස් හත්සිය තිහක මුදලක් ) සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව එරට සේවය කළ ශ්‍රී ලාංකිකයින් හයදෙනෙකුට එරෙහිව  ඩුබායි අධිකරණය විසින් නඩු පවරා ඇතැයි “කලීජ් ටයිම්ස් ” පුවත්පත් වෙබ් අඩවිය පසුගිය දා වාර්තා කළේය.

මෙලෙස නඩු පවරා ඇත්තේ එරට පෞද්ගලික ආරක්ෂක සේවා සමාගමක ආරක්ෂක සේවා නිලධාරීන් ලෙස කටයුතු කළ ලාංකික ශ්‍රමිකයින් පිරිසකට එරෙහිවය.ඔවුන් අදාළ මුදල් සිය ආරක්ෂාව යටතේ ප්‍රවාහනය කරමින් සිටියදී මෙම මුදල සොරකම් කරනු ලැබ ඇත.

මොවුන් අදාළ සොරකම් සිදු කළ බවට මෙම මුදල් සොරකම සැලසුම් කළ ප්‍රධාන ලාංකිකයා ඩුබායි පොලිසිය විසින් සිදු කළ මූලික පරීක්ෂණ වලදී වරද පිළිගැනීම හේතුවෙන් මෙලෙස අධිකරණය හමුවේ නඩු පවරනු ලැබූ බව කලීජ් ටයිම්ස් වාර්තාවේ සඳහන් වේ.

මෙම ලාංකිකයන් හයදෙනා ඉකුත් මැයි මස 6 සහ 10 යන දෙදින ඩුබායි හි අල් රෂිඩියා සහ ඬේරා ප්‍රදේශයේ සාප්පු සංකීර්ණ වල මුදල් හුවමාරු කිරීමේ  මධ්‍යස්ථාන ව්‍යාපාරිකයින් සතු මුදල්  තමන් සේවය කරන පෞද්ගලික ආරක්ෂක සේවා යටතේ බැංකුවලට ප්‍රවාහනය කළ අතරතුරේදී වාහනයේ රියදුරුට නොදැනෙන ලෙසින් බෑග්වල තැන්පත් කර තිබූ එම මුදල සොරකම් කර තිබේ.

ඔවුන් ශ්‍රී ලාංකිකයින් බව වසන් කොට ව්‍යාජ ලෙස සැකසූ එක්සත් අරාබි එමීරයේ හැඳුනුම්පත් භාවිතා කරමින් ඉතා සංවිධානාත්මක ලෙසින් අදාළ සොරකම සිදු කරනු ලැබ ඇත.පසුව එලෙස මුදල්  සොරකම් කිරීමෙන් පසුව මුදල් රැගත් ඔවුන් එමීරයේ සාජා නගරයේ මහල් නිවාසයක සැඟවී සිටියදී සොරකම් කළ මුදල් සමඟම පොලීස් අත්අඩංගුවට පත්ව ඇත.

ඔවුන් සොරකම් කළ ඩිරාම් එකොළොස් ලක්ෂය අතර සෞදි රියාල් 976 ක් ,ඕමාන් රියාල් 118 ක් ,කටාර් රියාල් 1190 ක් සහ ඇමෙරිකානු ඩොලර් 740 ක් ද තිබී ඇතැයි කියැවේ.

( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS