මුදල් වංචා කරලා



සයිප්‍රස් රාජ්‍යයෙහි රියදුරු රැකියාවක් දෙන බව පවසා මුදල් වංචාකළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙ වංචාව ජාවාරමක් බවට හෙළිවී ඇති අතර සයිප්‍රස්හි රැඳී සිටින බවට සැක කෙරෙන මෙම ජාවාරමේ මහ මොළ කාරිය අත්අඩංගුවට ගැනීමට කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය පරීක්ෂණ මෙහෙයවයි.

සැකකාරියට රැකියාව ලබාගැනීම සඳහා රුපියල් ලක්ෂ 7ක මුදලක් ලබාදී සයිප්‍රස් රාජ්‍යයට ගිය පසු එහිදී පොරොන්දු වූ රැකියාව නොලැබී නැවත මෙරටට පැමිණි අයෙකු විසින් මේ පිළිබඳව කාර්යාංශයට පැමිණිලි කර ඇති අතර, ඒ අනුව කාර්යාංශය විසින් කළ වැටලීමක දී මෙම සැකකාරිය අත් අඩංගුවට ගෙන ඇත.

පැමිණිලිකරුගෙන් ලද තොරතුරු අනුව එප්පාවල, මැඩියාව හන්දිය, තඹුත්තේගම පාර, කෙසෙල්වත්තේ දී මෙම ජාවාරමේ මෙරට නියෝජිතවරිය අත්අඩංගුවට ගෙන තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් හා රුපියල් දස දහසක මුදල් ඇපයක් මත මුදාහරින ලදැයි කාර්යංශය කියයි.

එසේම 2018.07.13 දින වැඩිදුර විමර්ශනය සඳහා සැකකාරියට නැවත අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කර ඇති අතර සැකකාරිගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීම සඳහා අධිකරණයේ අවසරය හිමි වී ඇතැයි කාර්යංශය කියයි. 

මෙම වැටලීම සඳහා කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධාන පොලිස් පරික්ෂක අතුල පෙරේරා, සහකාර කළමණාකරු රසික සිරිසේන, පොලිස් පරික්ෂක අනුර සෝමසිරි යන නිළධාරීන් එක්ව ඇත.  

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS