මැදිහත් වෙන්නේ නෑ



ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන කටයුතුවලට චීනය මැදිහත් වන්නේ නැතැයි එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ලූ කන්ග් පවසා ඇත.

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කර තිබේ.

චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සතිපතා පවත්වන මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකයා එම කරුණු සඳහන් කර තිබේ.

එහිදි තවදුරටත් ශ්‍රී ලංකාවේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඔහු මෙසේ ද පවසා ඇත.

“චීනය සහ ශ්‍රී ලංකාව මිත්‍රශීලි අසල්වැසියන්. ශ්‍රී ලංකාවේ තත්ත්වය අපි සමීපව බලා සිටිනවා. චීනය සෑම විටම අනෙක් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීමේ මූලධර්මය අනුගමනය කරනවා. ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය එරට අභ්‍යන්තර දේශපාලන අර්බුදයක්. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂවලට සහ එරට ජනතාවට ඔවුන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට අවශ්‍ය බුද්ධිය තිබෙන බව අපි විශ්වාස කරනවා”.

ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂෙන්ග් සියුවාන් මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් හමුවීම සම්බන්ධයෙන් විමසූ ප්‍රශ්නයකට චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ලූ කන්ග් මෙසේ පිළිතුරු දී ඇත.

“ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සමඟ අපි සන්නිවේදනය කරනවා. ඔවුන් සමඟ සබඳතා පවත්වා ගන්නවා. ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා නව අගමැතිවරයා හා වික්‍රමසිංහ මහතා හමු වුණා. තානාපතිවරයා ඔවුන් සමඟ ද්විපාර්ශවීය සබඳතා සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත්තා”.

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS