මානව හිමිකම් සැසිය ඇරැඹේ



එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි මහසභා සැසිවාරය අද (26) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එම කවුන්සිල මූලස්ථානයේදී ආරම්භ කෙරේ.

පුරා මාසයක් තිස්සේ පැවැත්වෙන මෙම සැසිවාරයේ දී ශ්‍රී ලංකාව ඇතුළු මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල්  47 ක මානව හිමිකම් ප්‍රගතිය පිළිබඳව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් මහතාගේ වාර්ෂික නිල වාර්තාවක් මෙහිදී ඉදිරිපත් කෙරෙනු ඇත. ප්‍රතිසන්ධානය, වගවීම හා මානව අයිතීන් ප්‍රවර්ධනය කිරීමේ තේමාවෙන් යුතුව මානව හිමිකම් මහ කොමසාරිස්වරයා කවුන්සිලයේ සාමාජික රටවල් හමුවේ කරුණු දැක්වීමට නියමිතව ඇත.

මානව හිමිකම් පිළිබද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලබන මාර්තු 21 වනදා එම කවුන්සිලයේදී විශේෂ සිදු කරන බව ජීනීවා තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී.ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරක්ෂිත කිරීමට රජය විසින් මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග වල ප්‍රගතිය ගැන මානව හිමිකම් මහකොමසාරිස්වරයා මෙහිදී කරුණු දක්වන බවද එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

පසුව එය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සභාගත කෙරෙනු ඇතැයිද සඳහන් වේ.

මෙරට යුද්ධයෙන් පසු සංහිඳියා ක්‍රියාවලිය සහ යුද්ධයේදී සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් 2015 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය යෝජනාවක් සම්මත කරගනු ලැබිණි.
එහි නිර්දේශ ක්‍රියාවට නැංවීම සඳහා ලබාදී තිබූ කාලසීමාව පසුගිය 2017 වසරේ දී තවත් වසර 02 කට දිගු කරනු ලැබුවා.  ඒ, පසුගිය වසරේ මාර්තු මාසයේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරුණු 34 - 1 යෝජනාව යටතේයි.

එම යෝජනාවට අනුව මානව හිමිකම් සුරක්ෂිත කිරීම අතින් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා 37 වන සැසිවාරයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

අදාළ සැසිවාරය අද (26)  වැනිදා සිට  මාසය තෙක් පැවැත්වෙන අතර ඒ අනුව මාර්තු 21 වනදා ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් අදාළ නිල ප්‍රකාශය සිදුකරනු ඇති.

මානව හිමිකම් මහකොමසාරිස්වරයා විසින් සිදු කරන එම ප්‍රකාශයට ශ්‍රී ලංකාව වෙනුවෙන් කරුණු දැක්වීමට මෙරට රජයේ නියෝජිත පිරිසක්ද ජිනීවා බලා පිටත්ව යෑමට නියමිත අතර  ඔවුන් මෙහිදී ශ්‍රී ලංකාව මානව හිමිකම් අතින් ලබා ඇති ප්‍රගතිය ගැන මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් දැනුවත් කරනු ඇත.

ශ්‍රී ලංකාවේ ඉකුත් යුද ගැටුම් පැවති කාලයේදී  සිදු වී ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් සිද්ධීන් සොයා බැලීම සඳහා වත්මන් රජය ගෙන යන ප්‍රතිසන්ධාන හා සංහිඳියා ක්‍රියාවලියේ ප්‍රගතිය සම්බන්ධයෙන් විවිධ රාජ්‍ය නොවන සංවිධාන හා ජාත්‍යන්තර සංවිධානයන් අදහස් දැක්වීමට නියමිතව ඇතැයි ජිනීවා තනාපති ආරංචි මාර්ග පවසයි.ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් හෙවත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක් එහිදී ශ්‍රී ලංකාවට එම වැඩපිළිවෙල සම්බන්ධයෙන් අදහස් දැක්වීම සිදු කරනු ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා ප්‍රමුඛ එහි සාමාජික රටවල් 47 හි නියෝජිතයෝ මෙම සැසිවාරයේදී සිරියාවේ වත්මන් තත්ත්වය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන අතරම අයිවරි කෝස්ට්, ලිබියා, බුරුන්ඩි, යන රටවල මානව හිමිකම් තත්ත්වය පිළිබඳව විශේෂ සමාලෝචනයකද නිරත වනු ඇත.මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරය ලබන මාර්තු 23 වැනිදා තෙක් පැවැත්වෙනු ඇත.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS