පීඩාවට පත් ලක් කතුන් යළි මෙරටට !



කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා ගොස් විවිධ ප්‍රශ්න සහ කරදර වලට භාජනය වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 52 දෙදෙනකු අද (28) කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබිණි.

මෙම පිරිස අද (28) උදෑසන 6.35 ට කුවේට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

මොවුන් අතරින් 6 දෙනෙකු වසර දෙකක සේවා කාලය පසුකර තිබුණ ද, ඉතිරි සියලු දෙනා වසරකටත් වඩා අඩු කාලයක් එරටේ ගෘහ සේවයේ යෙදී සිටි අය වෙති.

මොවුන් සියලු දෙනාම උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල පදිංචි කාන්තාවන් වූ අතර, ඔවුන්ට තම සේවාදායකයන් විසින් වැටුප් නොගෙවීම,පහරදීම, විවිධ හිරිහැර සහ කරදර වලට පත් කිරීම නිසා එම නිවාස වලින් පලා විත්, කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුබද්ධිත රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා සිටි අය වෙති.

මෙම පිරිස අතරින් 8 දෙනෙකු හැර ඉතිරි 44 දෙනාම එරට නිකුත් කළ තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් මෙරටට එවා තිබිණි.

මෙම පිරිස අතර සිටි 35 දෙනෙකු මෙරටට පැමිණීම සඳහා ඔවුන්ගේ වියදමින් ගුවන් ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන තිබිණි.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS