නව තාක්ෂණයෙන් යුතු නව කොන්සියුලර් කාර්යාලය සෙලින්කෝ ගොඩනැගිල්ලට



විදේශයන් හි ජීවත්වන සහ විදේශයන් වෙත සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලාංකිකයින් ගේ උප්පැන්න,විවාහ ,අධ්‍යාපන ලියකියවිලි සහතික කරවා ගැනීම ඇතුළු කොන්සියුලර් සේවා ලබා දෙන විදේශ කටයුතු අමාත්‍යාංශයේ  කොන්සියුලර් අංශය ඊයේ (06) සිට කොළඹ 01 ,සෙලින්කෝ ගොඩනැගිල්ලේ දෙවැනි මහළේ  පිහිටි නව ගොඩනැගිල්ලක ස්ථාපිත කෙරිණි.

මහජනතාවට අදාළ එම ලියකිවිලි කඩිනමින් සහතික කරවා ගැනීම සඳහා  ඉහළ තාක්‍ෂණයකින් යුතුව නවීකරණය කරන ලද මෙම කොන්සියුලර් අංශය විවෘත කිරීම  විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරිණි.

නව තාක්ෂණයෙන් යුතු මෙම නව කොන්සියුලර් කාර්යාලය හරහා මෙතෙක්  පැය කිහිපයක් හෝ දින දෙකකට ආසන්න කාලයක් ගතවූ ලේඛන සහතික කිරීමේ කටයුතු  ඉතාම අඩු කාලයකින් සහතික කරවා ගැනීමේ විද්‍යුත් ලිපිගොනු සහතික කිරීමේ පද්ධතියක්ද ( e- DAS )  හඳුන්වා තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ඒකාබද්ධව විදේශ කටයුතු අමාත්‍යාංශ කොන්සියුලර් අංශය සඳහා නව ඉලෙක්ට්‍රොනික පද්ධතිය හඳුන්වා දී තිබෙන අතර ඒ මඟින් දෛනිකව සිය අවශ්‍යතා ඉටුකර ගැනීම වෙනුවෙන් පැමිණෙන 1,000 ට ආසන්න ජනතාවක් සඳහා සිය සේවාවන් කඩිනමින් ඉටුකර ගැනීමට අවස්ථාව සැලසී ඇත.

 

 

මෙම නව තාක්ෂණයෙන් යුතු  කොන්සියුලර් අංශයේ නව පරිශ්‍රය විවෘත කිරීමේ අවස්ථාවේදී එහි සිටි පිරිස ඇමතූ විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා පෙන්වා දුන්නේ , විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය නව තාක්ෂණයක් සමඟ ඉදිරියට ගමන් කිරීම අමාත්‍යාංශයේ ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක්කරන්නක් බවත් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව මෙම කොන්සියුලර් අංශය නවීකරණ්‍ය වෙනුවෙන් අවධානය යෙමුකළ බවය.

අභියෝග රැසක් මධ්‍යයේ වසරකට ආසන්න කාලයක් තුළ එම අංශය නව පර්ශ්‍රයකට රැගෙන යාමට අවස්ථාව සැලසී තිබෙන අවස්ථාවක මහජනතාව වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශ කොන්සියුලර් අංශය සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන්නේ යැයි ද විදේශ අමාත්‍යවරයා කීය.

එසේම අමාත්‍යාංශය නවීකරණය යටතේ කොන්සියුලර් අංශයේ සේවාව රටපුරා විමධ්‍යගත කිරීමට සැළසුම්කර තිබෙන බවත් ඒ අනුව ඊයේ (06)  සිට ජනතාවට කඩිනම්  සේවාවක් ලබාගත හැකිවන අතර විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ට ද ඒ ඒ රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ කොන්සියුලර් කාර්යාල මඟින් සිය අවශ්‍යතාවන් කඩිනම් ඉටුකර ගැනීමේ හැකියාව පවතින බවද අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේය.

මේ අතර නියෝජ්‍ය විදේශ කටයුතු ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශ කොන්සියුලර් අංශයෙන් සිය අවශ්‍යතා ඉටුකර ගැනීමට පැමිණෙන ජනතාවට මීට පෙර පැය ගණන් ගතවුවද ඉදිරියේ දී විනාඩි 10ක් වැනි කෙටි කලක් තුළ එම අවශ්‍යතා ඉටුකර ගැනීමට අවස්ථාව සැලසෙන බවත් සංවර්ධනය සඳහා තාක්ෂණය යොදා ගන්නා ආකාරය සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙන බවත්ය. ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් ඉදිරියටත් එවැනිම ආකාරයේ කටයුතු කරන්නේ නම් අපේ රට සයිබීරියාවක් වනු ඇති බවත් එවැනි තත්ත්වයකින් ඔබ්බට ගොස් රටේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාමාර්ග ගතයුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇසළ වීරකෝන්, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාශයේ ලේකම් වසන්ත දේශප්‍රිය, විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් සේන විදානගේ, විදේශ කටයුතු අමාත්‍යාංශ කොන්සියුලර් අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ජනරාල් සුදන්ත ගනේගමආරච්චි, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපතිනී චිත්‍රාංගනී මුබාරක්, කළමනාකාර අධ්‍යක්ෂ මුහුන්දන් කනකේ, ආගමන විගමන කොමසාරිස් ජනරාල් නිහාල් වීරසිංහ, චීනයේ හිටපු ශ්‍රී ලංකා තානාපති රංජිත් උයංගොඩ මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. 

 


තිළිණි ද සිල්වා / ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

 


RECOMMEND POSTS