නඩාරාජා රවිරාජ් ඝාතන නඩුව මාර්තු 03 වැනිදාට කල් යයි



 

පාර්ලිමේන්තු මන්ත්‍රී නඩාරාජා රවිරාජ් ඝාතන නඩුවේ ජූරි සභා තීන්දුව අභියෝගයට ලක් කරමින් ගොනු කළ අභියාචන පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට මීට පෙර ගත් තීරණය ඊයේ (24) ඉවත් කළ අභියාචනාධිකරණය එම පෙත්සම ලබන මාර්තු 03 වැනිදා සලකා බැලීමට තීන්දු කළේය.

ඝාතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි නඩරාජා රවිරාජ් මහතාගේ බිරිය ගොනු කළ අභියාචන පෙත්සම නිෂ්ප්‍රභ කිරීම සම්බන්ධයෙන් ගොනු කළ මෝසමක් සලකා බැලූ අභියාචනාධිකරණය මේ  බව තීරණය කළේය.

ඒ අනුව මෙම පෙත්සම අදාළ නඩු ගොනු ලේඛනයට ඇතුළත් කරන ලෙස නියම කෙරිණි.

දීපාලි විජේසුන්දර සහ ලලිත් ජයසූරිය යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මෙම මෝසම කැඳවන ලදී.

අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කරනු ලැබූ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ගේ  බිරිය වන ශෂිකලා රවිරාජ් මහත්මිය විසින්  ගොනු කර තිබූ අභියාචන පෙත්සම යළි කැඳවන ලෙස ඉල්ලා මෙම මෝසමක් ගොනු කරනු ලැබීය.

එම මෝසමේ සඳහන් වන්නේ මීට පෙර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩුවේ අදාළ ලියකියවිලි ලබා ගැනීමෙන් පසු සිය අභියාචන පෙත්සම සලකා බලන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටි බවත් සිය මෝසමෙන් පෙන්වා දේ.නමුත් එම ලියකියවිලි ලැබී නොතිබූ අවස්ථාවක ඉකුත් 19 වැනිදා සිය අභියාචන පෙත්සම කැඳවා නිෂ්ප්‍රභ කර ඇති බවත් ,ඒ ගැන සිය නීතීඥවරයා දැනුවත්ව නොසිටි බවද ශෂිකලා රවිරාජ් මහත්මිය සිය මෝසමේ සඳහන් කර තිබිණි. 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් දෙන ලද ජූරි සභා තීන්දුවට එරෙහිව එම මන්ත්‍රීවරයා ගේ බිරිය විසින්  ගොනු කර තිබූ අභියාචන පෙත්සම් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය ඉකුත් 19 වැනිදා තීන්දු කළේය.පෙත්සම්කාර පාර්ශවය හෝ ඒ වෙනුවෙන් කිසිවකු අධිකරණය හමුවෙහි පෙනී නොසිටීම මත අභියාචනාධිකරණය මෙම පෙත්සම නිෂ්ප්‍රභ කළේය.

ඝාතනයට ලක්වූ නඩරාජා රවිරාජ් මහතාගේ බිරිය වන ශෂිකලා රවිරාජ් මහත්මිය ගොනු කර තිබූ මෝසම ඊයේ කැඳවූ අවස්ථාවේදී ඇය විසින් ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභ කරමින් දුන් තීරණය ඉවත් කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම පෙත්සම සලකා බැලීමට තීන්දු කළේය.

එසේම විත්තිකරුවන්ට නොතීසි යැවීමෙන් පසු කරුණු දක්වන ලෙස පෙත්සම්කාරියට නියම කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් දෙන ලද ජූරි සභා තීන්දුව බලරහිත කොට ,ජූරි සභාවක් නොමැතිව එම නඩුව යළි විභාග කරන ලෙසට නියෝග කරන්නැයි ඉල්ලා එම හිටපු මන්ත්‍රීවරයාගේ භාර්යාව විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ අභියාචන පෙත්සමින් ඉල්ලා තිබිණි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නඩරාජා රවිරාජ් මහතාගේ බිරිය වන ශෂිකලා රවිරාජ් විසින් මෙම අභියාචනා පෙත්සම ගොනු කර ඇති අතර වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා නම් කරනු ලැබ තිබිණි.

අදාළ ජූරි සභා තීන්දුව නිසා අගතියට පත් පාර්ශවය ලෙස මෙම අභියාචන පෙත්සම ගොනු කර තිබිණි.

2006 වසරේ නොවැම්බර් 10 වැනිදා රවිරාජ් මන්ත්‍රීවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීය.එම විත්තිකරුවන් ගෙන් එක් අයෙකු මිය ගොස් ඇති අතර තවත් දෙදෙනෙකු අධිකරණය මඟහැර සිටින බවක් සඳහන් විණි.ඒ අනුව එම නඩුව විත්තිකරුවන් තිදෙනෙකු පමණක් අධිකරණයේ සිටයදී විත්තිකරුවන්ගේ ඉල්ලීම මත විශේෂ ජූරි සභාවක් ඉදිරියෙහි මෙම නඩුව විභාගයට ගැණිනි.

එම ජූරි තීන්දුව ඉකුත් දෙසැම්බර් 24 වැනදා ලබා දෙමිනි සියලුම විත්තිකරුවන් සියලු දෙනා නිදොස්කොට නිදහස් කෙරිණි.
එම ජූරි සභා තීරණය සහ මහාධිකරණ තීන්දුවට එරෙහිව ශෂිකලා රවිරාජ් මහත්මිය මෙම අභියාචන පෙත්සම ඉදිරිපත් කළේය.
අදාළ ජූරි සභා තීරණය සහ මහාධිකරණ තීන්දුව අවලංගු කර ජූරි සභාවක් රහිතව එම නඩු විභාගය නැවත පවත්වන ලෙසට නියෝග කරන්නැයිද ඉල්ලි තිබිණි.

නීතීඥ එම්.ඒ.සුමන්තිරන් මහතා පෙත්සම්කාරිය වෙනුවෙන් ද ,නීතීඥ අනුජ ප්‍රේමරත්න සහ නීතීඥ අසිත බාලසූරිය මහත්වරු විත්තිකරුවන් වෙනුවෙන් ද , නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා නීතිපති වෙනුවෙන්ද පෙනී සිටියහ.

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )


RECOMMEND POSTS