දේහය ගෙන්වා ගැනේ



ගෘහ සේවිකාවක ලෙස සෞදි අරාබියේ රියාද් නුවර සේවය කරමින් සිටියදී මරණයට පත්වූ 34 හැවිරිදි කාන්තාවකගේ දේහය සවුදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් මෙරටට ගෙන්වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

දේහය ලංකාවට ගෙන්වා ගැනීමෙන් පසුව, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහන පියස මගින් රුපියල් තිස්දහසක අවමංගල්‍ය දීමනාවක් ද පවුලේ ඥාතීන්ට ලබා දුන් බව කාර්යංශය කියයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවී විදේශ ගතවී ඇති ඇය ලියාපදිංචි වීම සඳහා ලබා දී ඇත්තේ තම්බිරාසා රාමයියා පුෂ්පමලර් නමිනි. ලිපිනය ලෙස යොදා ඇත්තේ කොළඹ 15,  ප්‍රංශවත්ත පටුමග, ප්‍රදේශයේ ප්‍රදේශයේ ලිපිනයකි.

එහෙත් ඇය තලවකැලේ කටුකැලේ වත්තේ පදිංචිකාරියක වන මරුදෙයි වසන්ත මල්ලිකා නමැති කාන්තාවය.
මෙම මරණය සම්බන්ධයෙන් තානාපති කාර්යාලය දැනුවත් වී ඇත්තේ පසුගිය අප්‍රේල් මස 9 වැනිදා බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මරණය වාර්තාවී මාසයක් ඇතුළත දේහය ලංකාවට ගෙන ඒමට අවශ්‍ය කඩිනම් පියවර ගත් අතර ඒ අනුව දේහය ලංකාවට ගෙන එනු ලැබු බවත් හෙතෙම කියා සිටියේය.

මරණය සම්බන්ධයෙන් මියගිය අයගේ පවුලේ ඥාතීන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත මෙතෙක් පැමිණිල්ලක් ගොනු කර නැත.

මෙම අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධයෙන් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ දැඩි අවධානය යොමුව ඇති අතර මියගිය අයගේ පවුලේ සාමාජිකයින්ට බලවත් ශෝකය පළකරයි.

වෙනත් නම් වලින් විදේශ රැකියාවලට පුද්ගලයින් යැවීම බරපතල නීති විරෝධී ක්‍රියාවකැයි කී එම නිලධාරියා ඒ පිලිබඳ වෙනම පරික්ෂණයක් සිදුකරන බව ද සඳහන් කළේය.

කෙසේ වෙතත් කාර්යාංශයේ ලියාපදිංචි වී ගොස් ඇති නිසා අදාල රක්ෂණ වන්දි කඩිනමින් පවුලේ ඥාතීන් වෙත ලබාදීමට අවශ්‍ය කටයුතු කරන ලෙසද ඔවුහු උපදෙස් ලබාදුන්හ.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS