ජගත් මහලේකම්ගෙන් ප්‍රකාශයක්



එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා පාර්ලිමේන්තුව කැඳවන්නැයි ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අවධාරණය කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් යන මහත්වරුන් අතර පැවැති දුරකතන සංවාදය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ බව සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන ලද්දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තමන්ට පැවැරී ඇති බලතල අනුව බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහලේකම්වරයාට දැනුම් දුන් බව එම දුරකතන සංවාදය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ජනාධිපතිවරයා සහ මහලේකම්වරයා අතර සංවාදය මිත්‍රශීලිව පැවැති බව ද එම නිවේදනයේ සඳහන් විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

“මහලේකම්වරයා නොවැම්බර් 1 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ දුරකතන සංවාදයක නියැළුණා.
තමන් ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලනය තත්ත්වය සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින බවත් ඇති ව තිබෙන අර්බුදය සියලු පාර්ශව හා පක්ෂ සමඟ සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට සහයෝගය දීමට සූදානම් බවත් මහලේකම්වරයා ජනාධිපතිවරයාට දැනුම් දුන්නා. සාමය, ආරක්ෂාව සහ නීතියේ ආධිපත්‍යයට ගෞරව කිරීම සුරක්ෂිත කිරීමේ රජයේ වගකීමක් බවත් මහලේකම්වරයා එහිදි පෙන්වා දුන්නා.

පාර්ලිමේන්තුව කැඳවා පාර්ලිමේන්තු ක්‍රියාදාමය අනුගමනය කරමින් කඩිනමින් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පවත්වන්නැයි මහලේකම්වරයා එම දුරකතන සංවාදයේදී ජනාධිපතිවරයාට අවධාරණය කළා. ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවලට අනුව මානව හිමිකම්, යුක්තිය සහ සංහිඳියාව සම්බන්ධයෙන් දුන් පොරොන්දු හා එම බැඳීම් හා වගකීම් ඉටු කිරීම සම්බන්ධයෙන් අවධානය කළ යුතු බව ද මහලේකම්වරයා එහිදි ජනාධිපතිවරයාට කියා සිටියා”.

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS