ග්‍රාහක සංඛ්‍යාව සීමා කරයි



ප්‍රචණ්ඩත්වය  සහ ගැටුම් වර්ධනය වීමට හේතු විය හැකි වෛරී ප්‍රකාශ සංසරණය අවම කිරීමේ අරමුණෙන් සමාජ මාධ්‍යය හරහා ශ්‍රී ලංකාව තුළ පණිවුඩ හුවමාරු කළ හැකි ග්‍රාහක සංඛ්‍යාව සීමා කිරීමට ෆේස්බුක් ආයතනය  පියවර ගෙන ඇත.

එමෙන්ම, සිංහල භාෂාවෙන් පළ කෙරෙන ෆේස්බුක් සටහන් වෛරී ප්‍රකාශ දැයි පරීක්ෂා කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය යෙදවීමට ද එම ආයතනය තීරණය කර ති⁣බේ

ගැටුම් වර්ධනයට හේතු විය හැකි ප්‍රකාශ පැතිරීම අවම කිරීම සඳහා සිය නිෂ්පාදනවල මූලික වෙනස්කම් සිදුකරන බවත් ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ෆේස්බුක් පණිවුඩයක් හුවමාරු කිරීම සිය මිතුරු සම්බන්ධතා 5කට පමණක් සීමා වන බව ⁣එම ආයතනය වැඩිදුරටත් කියා සිටී.

ෆේස්බුක් පරිහරණය සමාජයට බලපාන ආකාරය පරීක්ෂා කිරීම සඳහා ෆේස්බුක් ආයතනයේ නියෝජිතයින් පිරිසක් පසුගිය වසරේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල සංචාරයක නිරත වු අතර ෆේස්බුක් මෙරට ධනාත්මක භාවිතයන් පිළිබදව ද එම ආයතනයේ අවධානය යොමු විණි.

විශේෂයෙන් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු දෙලක්ෂ 50,000කට අධික ශ්‍රී ලාංකිකයින් තමන් නිරුපද්‍රිත බව නෑ හිතවතුන්ට දැන්වීම සඳහා යොදාගෙන ඇත්තේ ෆේස්බුක් සමාජ මාධ්‍යයි.

මේ වසර මුල දී වට්ස් - ඇප් සමාජ මාධ්‍යය හරහා පණිවුඩ හුවමාරුවට ද මෙවැනි සීමාවක් පැනවීමට එම සමාජ මාධ්‍ය හිමිකරුවන් කටයුතු කර තිබුණි. 

මේ අතර ශ්‍රී ලංකා පරිවර්තන සමූහයේ සභාපති රජිව් යසිදු මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පළ වන වෛරී ප්‍රකාශ හඳුනා ගැනීම සඳහා ෆේස්බුක් ආයතනයේ කණ්ඩායමක් තමන් සමඟ කටයුතු කරමින් සිටි බවයි.

 

 ඒ අනුව වෛරී ප්‍රකාශ හා පණිවිඩ හුවමාරු කිරීම වැළැක්වීමට  ෆේස්බුක් ආයතනයේ වෙනම ඒකකයක් පිහිටුවා ඇතැයි ද ඒ බව සිය සංගමයට දන්වා සිටියේ යැයි ද ශ්‍රී ලංකා පරිවර්තන සමූහයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මහතා පැවසීය.

 

පසුගිය දිනවල සුළු ජන කොට්ඨාස සම්බන්ධයෙන් ෆෙස්බුක් හරහා වෛරී ප්‍රකාශන හුවමාරු වීම නිසා ශ්‍රී ලංකා රජය කිහිපවරක්ම ෆෙස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයකට පිවිසීම අවහිර කර තිබිණි. එය පදනම් කරගනිමින් ෆෙස්බුක් ආයතනය මෙම පියවර ගෙන ඇතැයි ද කුරුවිටගේ මහතා කීය.

 

ෆේස්බුක් ප්‍රමිති උල්ලංඝනය කරන ගිණුම් හා සටහන් ඉවත් කිරීමමානසික ආතතීන් වැඩි කිරීමට හැකියාව ඇති පෝස්ටු ප්‍රචාරයවීම අඩු කිරීම සහ මානසික ආතතීන් අඩු කිරීමට යොදාගතහැකි ෆෙස්බුක් හා අන්තර්ජාල නිෂ්පාදන, ප්‍රචණ්ඩත්වයට තුඩුදිය හැකි අන්තර්ගතයන් පවතින සටහන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, වෛරී ප්‍රකාශන සහ අසත්‍ය තොරතුරුවලට එරෙහිව සටන් කිරීම යනාදිය අදාළ ඒකකයේ මූලික කාර්ය වී ඇතැයි ද කුරුවිටගේ මහතා කීය.

 

ෆේස්බුක් ආයතනය තම භාෂාමය ගැටළු විසඳාගැනීම සඳහා සිංහල පරිවර්තකයන්ගේ සහය ඉදිරියේදී නැවතත් ලබාගැනීමට සුදානම් යැයි ද කුරුවිටගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS