කේබල් කාර් සේවා ඇරඹීමේ සාකච්ඡා



ඩුබායි ආධාර ඇතිව ලෝකාන්තයට කේබල් කාර් සේවයක් ඇරඹීමට රජය සාකච්ඡා කර ඇතැයි වාර්තාවේ.

ඒ අනුව සමනලවැව ජලාශය ආසන්නයේ බෙලිහුල්ඔය සිට ලෝකාන්තය දක්වා කේබල් කාර් සේවයක් ඩුබායි රජයේ ආධාර ඇති නුදුරු කාලය තුළ අරඹන බව සබරගමු පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය ඉකුත් 25 වැනිදා ප්‍රකාශ කළාය.

“බෙලිහුල්ඔය ප්‍රදේශය දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණීය ස්ථානයක්. ලෝකාන්තයට මේ පැත්තෙන් යා හැකියි. සබරගමු පළාත් සභාව ඩුබායි රාජ්‍ය සමග සාකච්ඡා කර තිබෙනවා බෙලිහුල්ඔය සිට ලෝකාන්තය දක්වා කේබල් කාර් සේවයක් ආරම්භ කිරිමට. එමගින් සංචාරක කර්මාන්තයේ විශාල දියුණුවක් ඇති කළ හැකියි.”

“සබරගමු විශ්ව විද්‍යාලයේ විද්වතුන්ගේ ආශිර්වාදය එයට තියනවා. ඊට සමගාමීව සමනල වැවේ සංචාරක බෝට්ටු සේවයක් ද අරඹනවා. බෙලිහුල්ඔයට එන දෙස් විදෙස් සංචාරකයන්ට ලෝකාන්තයත් නරඹලා, බෝට්ටු සවාරියකුත් ගිහිං පාරිසරික රසවින්දනයක් වගේම සංචාරයක නිරත වන්නට ඉන් අවස්ථාව ලැබෙනවා.”

“මම මේ ව්‍යාපෘතිය ගැන අතිගරු ජනාධිපතිතුමාට දැනුම් දුන්නාම එතුමා කිව්වේ ශ්‍රී පාදස්ථානයට නැතුව වෙන ඕනෑ තැනකට කේබල් කාර් ව්‍යාපෘති හඳුන්වලා දෙන්න කියලා. ඒ නිසා මම ආණ්ඩුකාර ධූරයේ ඉන්න කාලය තුළ මේ කෙබල් කාර් ව්‍යාපෘතිය ආරම්භ කිරිමට ගතහැකි හැම පියවරකම ගන්නවා’’ යැයි ද ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පැවසුවාය

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS