කියුබාවට ආධාර



සුළි සුළං ආපදා තත්ත්වයෙන් හානිවූ කියුබාවට ඇමෙරිකා ඩොලර් පනස්දාහක ආධාරයක් ලබා දීමට විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

දෙරට අතර පවතින මිත්රත්වය තවදුරටත් තහවුරු කරගැනීමේ සංකේතයක් ලෙසත් හා මේ වසරේදී  දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා වලට හැට වසරක් පිරීම සැමරීම වෙනුවෙන් මෙම ආධාරය කියුබාවට ලබා දීමට විදේශ අමාත්‍යවරයා යෝජනා කර තිබිණි.

ඒ අනුව මෙම වසරේ ජනවාරි මස ඇති වූ සුළි කුණාටුව හේතුවෙන් හානියට පත්වූ කියුබාවේ  හවානාහි රෙග්ලා ආශ්‍රිතව පිහිටි ගම්මානයක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මෙම ආධාරය ලබා දීමට විදේශ අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලය වෙතට ඉකුත්දා අමාත්‍ය පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි.

ඇමරිකානු ඩොලර් 50,000ක ප්‍රදානයට   අදාළව අමාත්‍ය තිලක් මාරපන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය ඉකුත්දා අනුමත කළ අතර එය ඉදිරියේදී කියුබා රජයට ප්‍රදානය කරනු ඇතැයිද එම අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS