කදිරගාමර් මහතා සැමටම ආදර්ශයක්



​ශ්‍රී ලංකාවේ හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා එදත් අදත් හෙටත් අප සැමටම ආදර්ශයක් යැයි ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය ලියාම් ෆොක්ස් මහතා පැවැසීය.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ අග්‍රගණ්‍ය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු මෙන්ම මෙරට කීර්තිමත්ම විදේශ අමාත්‍යවරයා ලෙස සැලකෙන දිවංගත ලක්ෂ්මන් කදිරගාමර් මහතා අනුස්මරණය කරමින් ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර ‘ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ’ දී ‘ගුත්තිල වීණා වාදනය’ දැක්වෙන අලේඛ්‍ය චිත්‍රයක් නිරාවරණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ලියාම් ෆොක්ස් මහතා ඉකුත් දා ඒ බව කීවේය. 

මෙම චිත්‍රය අනාගත පරම්පරාවලට මෙන්ම ‘ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ’ කාර්යමණ්ඩලයට ශ්‍රී ලංකාවේ හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා සිහි කරාවි යැයි ද ලියාම් ෆොක්ස් මහතා කීය.

හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ සුගන්ධි කදිරගාමර් මහත්මිය මෙම ආලේඛ්‍ය චිත්‍රය ‘ලෝක බුද්ධිමය දේපළ සංවිධානයට’ ත්‍යාගයක් ලෙස ලබා දී තිබේ. චිත්‍රය නිරාවරණය කිරීමේ අවස්ථාවට සුගන්ධි කදිරගාමර් මහත්මිය එක්වූවාය.

මෙම සිතුවම ස්ටැන්ලි කිරින්දේ මහතාගේ නිර්මාණයක් වන අතර ‘ගුත්තිල නම් වීණා වාදකයා’ යනුවෙන් එය නම් කර තිබේ. ජීනිවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත දූත පිරිස, එක්සත් රාජධානිය සහ ‘ලෝක බුද්ධිමය දේපළ සංවිධානය’ එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබිණි.


RECOMMEND POSTS