කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන්න



කතානායක කරු ජයසූරිය මහතා සමඟ සාකච්ඡා කර කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන්නැයි ඉල්ලා සිටින බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරට පත් කළ අතර ඉන් ඇති වූ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය නිවේදනයක් නිකුත් කළ දෙවැනි අවස්ථාව මෙය විය.

ඇමෙරිකා එක්සත් ජනපදය ඊයේ (28) පස්වරුවේ නිකුත් කළ එම නිවේදනයේ මෙසේ ද සඳහන් විය.

“ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවෙනවා. බිය ගැන්වීම්වලින් සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළැකී සිටින්නැයි සියලු පාර්ශවවලින් ඉල්ලා සිටිනවා. කතානායකවරයා හා සාකච්ඡා කරමින් ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවමින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ ශ්‍රී ලංකා ජනතාවගේ නියෝජිතයන්ට ආණ්ඩුවේ නායකත්වය දැරිය යුත්තේ කවුරුන්දැයි තීරණය කිරීමට ඉඩ දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා”.

මේ අතර ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේ එල්ල වන පීඩනය වැඩි වෙමින් තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබිණි.

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS