කටාර් අර්බුදයෙන් ලාංකිකයන්ට ගැටලුවක් නැහැ



කටාර් රාජ්‍යයේ මතුව ඇති තත්ත්වය එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ප්‍රශ්නයක් නොවන බව විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය ලංකාදිපයට පැවැසුවාය.

එය මැදපෙරදිග කලාපයේ පවතින ප්‍රශ්නයක් බවත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අපට ගැටළුවක් නොමැති බවත් විදේශ කටයුතු අමාත්‍යංශයෙන් දැනුවත් කොට ඇති  බවද අමාත්‍යවරිය කීවාය. 

කටුනායක ගුවන්තොටුපොලේ අද පෙරවරුවේ පැය කිහිපයක් කටාර් රියාල් මාරු නොකළ නමුත් මහ බැංකුවේ දැනුවත් කිරීම්වලින් පසු සාමාන්‍ය පරිදි කටයුතු කෙරෙන බවද අතුකා්රල මහත්මිය පැවැසුවාය. මහ බැංකුව මේ වනවිට ඒ පිළිබඳව අවශ්‍ය දැනුවත් කිරීම් කර ඇති බව ද ඇය පැවැසුවාය.

කටාර් හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් සාමාන්‍ය පරිදි සිදුවන බවත් කටාර් ගුවන් සේවය හා ශ්‍රී ලංකන් ගුවන් සේවය සාමාන්‍ය පරිදි සේවා පවත්වා ගෙන යන බවත් ඇය කීවාය.

කට කතාවන්ට නොරැවටී හරි තොරතුරු ලබාගැනීමට තානාපති කාර්යාල සම්බන්ධ කරගන්නා ලෙස ද අමාත්‍යවරිය ඉල්ලීමක් කළාය. මේ වනවිට කිසිදු ප්‍රශ්නයක් නැති වුවත් කවර හෝ ප්‍රශ්නයක් ඇත්නම් එරට සේවය කරන ශ්‍රී ලාංකිකයන් ගෙන්වීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරිය කීවාය. 

“දැනට එහෙම කරන්න කිසිම වුවමනාවක් නෑ. අපේ රටේ 140000ක් විතර ඒ රටේ සේවය කරනවා. අනිත් රටවලිනුත් ලක්‍ෂ 15ක් විතර ඒ රටේ සේවය කරනවා. ඒ සියළු දෙනා සම්බන්ධයෙන් ඒ ඒ රටවලට වගකීම තියෙනවා. අපේ රටට බලපාන තත්ත්වය සම්බන්ධයෙන් අවශ්‍ය නිසි විසඳුම් රජය අවශ්‍ය වෙලාවට ගන්නවා.”යැයි ද අතුකෝරල මහත්මිය තව දුරටත් පැවැසුවාය.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS