ඇප මුදල වැඩි කරලා



ඊශ්‍රයලයේ රැකියා සඳහා යන ශ්‍රි ලාංකිකයන් ගෙන් මෙතෙක් තබාගත් රුපියල් ලක්ෂ 15 ක පුද්ගල ඇපය රුපියල් ලක්ෂ 20 ක පුද්ගල ඇප දෙකක් දක්වා වැඩි කර ඇත.

නව නීතිය ඉකුත් 16 දා සිට ක්‍රීයාත්මක වන බව ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සියේ  සභාපති ලක්ෂ්මන් අබේගුණරත්න මහතා ලංකාදීපයට පැවැසීය.

එමෙන්ම එහි රැකියා සඳහා ගිය පසු එහි දී දේශපාලන රැකවරණ ඉල්ලා සිටිය නොහැකි වන පරිදි රැකියා අපේක්ෂකයන්ගෙන් ලිපියක් ලබා ගැනිමට කටයුතු කරන බව ද සභාපතිවරයා පැවැසිය.

එරට රැකියා සඳහා ගොස් රැකියා ස්ථානයෙන්  පැන ගොස් සයිප්‍රසයේ ජීවත් වීමට උත්සාහ කරන මෙන්ම දේශපාලන රැකවරණ ඉල්ලන පුද්ගලයින් හේතුවෙන් මෙසේ නීති තදින් ක්‍රීයාත්මක කිරීමට සිදු වූ බව හෙතෙම සඳහන් කළේය.

මේ අතර මේ වනවිටත් දේශපාලන රැකවරණ ඉල්ලා ඇති ශ්‍රී ලාංකිකයින්  31 දෙනා ගේ ඇප කරුවන් 62 දෙනාටම දෙසතියක් කල් දුන් බවත් එම සති දෙක අවසන් වු වහාම නඩු පවරන බව දන්වා යවන බවත් ඒ අතර තමන් ඇප වු ඥාතියා මෙරට ට ගෙන්වා ගැනීමට තවත් දෙසතියක් කල් දෙන බවත් අබේගුණරත්න මහතා කීය.

එම කාලය තුළ දීද අදාල පුද්ගලයා මෙරටට ගෙන්වා ගැනිමට ඇපකරුවන් අසමත් වුවහොත් එකී විදේශගත වී  සිටින අය අසාධු ලේඛන ගත කිරීමට හා ඇපකරුවන් ට එරෙහිව නඩු පවරා මුදල් අය කරගැනිමට කටයුතු යොදන බවත් සභාපතිවරයා කිය.

එවිට අසාධු ලේඛන ගත කරන ලද පුද්ගලයින් කවදා හෝ මෙරටට පැමිණෙන විට ආගමන විගමන නීති උල්ලඝණය කිරීමේ චෝදනා මත ඔවුන් අත් අඩංගුවට ගනු ඇතැයි ද අබේගුණරත්න මහතා කියා සිටියේය.

විනීතා එම් ගමගේ 


RECOMMEND POSTS