අලුත් බදු ගිවිසුමක්



ද්විත්ව බදුකරණය වැලැක්වීම සහ මුල්‍ය මඟහැරීම නිවාරණය පිළිබඳ ශ්‍රී ලංකාව සහ ඕමානය ගිවිසුමකට අත්සන් තැබූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.

ඉකුත් 15 වැනිදා කොළඹදී ජ්‍යෙෂ්ඨ නිලධාරී මට්ටමෙන් පැවැති ශ්‍රී ලංකා-ඕමාන ද්විපාර්ශ්වික උපදේශනවල දෙවැනි රැස්වීම අතරතුරදී ශ්‍රී ලංකා රජය සහ ඕමාන සුල්තාන් රාජ්‍යය මෙම නව ගිවිසුමකට අත්සන් තබන ලදී.

දෙරට අතර ඇති දේශපාලන හා ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කොට ඉදිරියට ගෙනයෑමට තමන් තුළ ඇති කැපවීම මෙම රැස්වීම අතරතුරදී ශ්‍රී ලංකාව සහ ඕමානය යළි තහවුරු කළේය. 2014 වසරේදී මස්කට් නුවර පැවැති ශ්‍රී ලංකා-ඕමාන ද්විපාර්ශ්වික උපදේශනවල පළමු රැස්වීමේදී එළැඹි තීරණ සම්බන්ධයෙන් ගනු ලැබූ පසුවිපරම් ක්‍රියාමාර්ග සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව ඇති කරගැනීමේ නව මං මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. මැදපෙරදිග කලාපයට ප්‍රවේශ දොරටුවක් ලෙස ඕමානයද, ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවද අතර ව්‍යාපාරික, වෙළෙඳ හා නාවික සබඳතා පිහිටුවීම උදෙසා කටයුතු කරන්නට දෙපාර්ශ්වය එකඟ විය.

වෙළෙඳාම ,සංචාරක කටයුතු, ආගමන හා විගමන ,කම්කරු සහ මිනිස්බල පුහුණුව, ආරක්ෂාව ,කෘෂිකර්මය , උසස් අධ්‍යාපනය , සහ සංස්කෘතිය යන ක්ෂේත්‍රවල අන්‍යෙන්‍ය සහයෝගීතාව දැක්විය හැකි පුළුල් පරාසයකට අයත් කරුණු සම්බන්ධයෙන්ද මෙහිදී කරැණු සාකච්ඡා කෙරිණි.

ඉහළ පෙළේ සංචාර මඟින් ද්විපාර්ශ්වික දේශපාලන සබඳතා තහවුරු කිරීම පිළිබඳවද රැස්වීමේදී සාකච්ඡා කෙරිණි.ඕමාන නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ ගත කළ කාලය තුළ කතානායක කරු ජයසූරිය සහ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන යන මහත්වරුන්ද බැහැදුටුවේය.

මෙම ද්විපාර්ශ්වික උපදේශන රැස්වීමට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකත්වය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා විසින් දරන ලද අතර ඕමාන නියෝජිත පිරිසේ නායකත්වය එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍යතාන්ත්‍රිකත්වය පිළිබඳ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ලේකම් මහ්මුද් අවාද් අල් හසන් මහතා විසින් දරන ලදී. විදේශ කටයුතු අමාත්‍යාංශ දෙකෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ මෙන්ම ශ්‍රී ලංකාවේ රේඛීය අමාත්‍යාංශ හා ආයතන රැසක නියෝජිතයෝද සාකච්ඡාවලට සහභාගී වූහ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS