අභියෝගවලට මුහුණ දීමට තමා සූදානම්



අභියෝගවලට මුහුණ දීමට තමා සූදානම් බවත්, කොරෝනා වයිසරය හේතුවෙන් රට අකර්මණ්‍ය වීමට කිසිසේත් ඉඩ නොතබන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් ඊයේ (17) රාත්‍රියේ පැවසීය. මෙම අභියෝගය ජය ගැනීමට සියලුම දෙනා එකමුතු විය යුතු බව ද ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා ජාතිය අමතමින් මෙසේ ද කීවේය.

අද මා ඔබ අමතන්නේ කොරෝනා වෛසරය හෙවත් Covid -19 වෛරසය සම්බන්ධයෙන් අප ගෙන ඇති පියවර සහ වර්තමාන තත්ත්වය ගැන ඔබ දැනුම්වත් කිරීමටයි.

මේ වසරේ ජනවාරි මාසයේ දී කොරෝනා වෛරසය පිළිබඳ ලෝක අවධානය යොමු වෙද්දි චීනයේ වූහාන් ප්‍රදේශයේ ඉගෙනුම ලබමින් සිටි ශ්‍රී ලාංකික සිසුන් 34 දෙනෙක් ලංකාවට ගෙන්වා ගැනීමට මා තීරණය කළා. ඒ වන විට කිසිඳු කොරෝනා වෛරස් ආසාදිතයෙකු ලංකාවේ වාර්තා වී නොතිබුණත් මෙම වෛරසරයෙන් ඉදිරියේදී ඇති විය හැකි ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා අපි ජනවාරි මස 26 වැනිදා විශේෂ ජාතික කාර්ය සාධක කමිටුවක් පිහිටුවන්නට කටයුතු කළා.

ජනවාරි මස 27 වනදා ලංකාව තුළ ප්‍රථම කොරෝනා වෛරසය ආසාදිතයා ලෙස ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ සිටි චීන ජාතික කාන්තාවන් හඳුනා ගනු ලැබුවා. ඇයව වහාම IDH රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර කළා. ඇය පෙබරවාරි 19 වන විට සම්පූර්ණයෙන් සුවය ලබා ලංකාවෙන් පිටව ගියා.

විශේෂ ගුවන් යානයකින් ලංකාවට රැගෙන එන ලද ශ්‍රී ලාංකික සිසුන් මත්තල ගුවන් තොටුපළේ දී නිරෝධායනයට ලක් කොට දියතලාවේ විශේෂයෙන් සකස් කළ නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන ගියා. ඔවුන් කඳවුර තුළ දින 14 ක නිරෝධායනයට ලක්ව පෙබරවාරි මස 14 දා සුරක්ෂිතව නිවෙස් බලා ගියා. මේ කාලයේ ගුවන් තොටුපොළෙන් ලංකාවට පැමිණෙන්නන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මූලික පරීක්ෂාවන් ගුවන් තොටුපළේදීම සිදු කරන්නනටත් ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබා දීමටත් කටයුතු සලසා තිබුණා.

වෛරස ආසිදිත චීන කාන්තාව හඳුනා ගැනීමෙන් පසු මාසයක් පමණ කාලයක් තුළ අනෙකුත් කිසිදු රෝගියෙක් ගැන වාර්තා වුයේ නැහැ. චීනයෙන් පිට වෙනත් රට වලට ද වෛරසයේ අවදානම පැතිරුණ නිසා ඉතාලිය, දකුණු කොරියාව, ඉරාණය යන රට වලින් පැමිණෙන ගුවන් මගින් දින 14 ක නිරෝධායනයකට ලක් කිරීමේ තීන්දුවක් ගත්තා. ඒ තීරණය ගත්තේ මාර්තු මස 10 දායි. මේ අනුව කන්දකාඩු පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත මගින් යොමු කිරීම ආරම්භ වුණා. මෙය මුලින්ම ආරම්භ වූ අවස්ථාවේ ඉතාලියේ හා කොරියාවේ සිට පැමිණි යම් මගින් දැඩි ලෙස විරෝධය පෑ අතර නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන යන අතර පැන යාමට පවා සමහරුන් තැත් කොට තිබුණා.

මාර්තු මස 11 දා අපට කොරෝනා ආසාදිත පළමු වන ශ්‍රී ලාංකිකයා වාර්තා වුණා. ඒ ඉතාලි ජාතික සංචාරකයන්ට මඟ පෙන්වන සංචාරක උපදේශකවරයෙක්. නිරෝධායන මධ්‍යස්ථාන තුළ හා ඉන් පිටපත අප විසින් කරන ලද පරීක්ෂණ වලින් තව තවත් ආසාදිතයන් හමු වන්නට පටන් ගත් අතර මේ වන විට ආසාදිතයන් 34 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා.

මාර්තු 13දා සිට මෙයට ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්වීඩනය හා ඔස්ට්‍රියාවත් එකතු වුණා. මේ වන විට එංගලන්තය, බෙල්ජියම, නෝර්වේ, කැනඩාව, කටාර් හා බහරේන් රටවලින් එන අයත් නිරෝධායනයට ලක් වෙනවා. හෙට සිට නැවත දන්වන තුරු සියලුම සංචාරකයන් පැමිණීම නවතා දමනු ලබනවා.

අපි නිරෝධායනය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ඉහත සඳහන් රටවලින් ලංකාවට පැමිණි සෑම දෙනෙක්ම මෙන්ම ඔවුන්ගේ ළඟම ඥ‌ාතීන් හඳුනාගෙන ඔවුන්ගේ නිවාසවලම ස්වයං නිරෝධායනයකට ලක් කිරීමට අප තීරණය කොට තිබෙනවා. මේ සඳහා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් හා ග්‍රාම නිලධාරීන් යොදවන අතර ඔවුන්ට සම්පූර්ණ සහය දෙන ලෙස මා ඉල්ලා සිටිනවා.

වෙනත් රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකයන් වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස මා ඉල්ලා සිටිනවා. අපි රජයෙන් විශේෂ නිවාඩු දිනයක් ලබා දුන්නේ වෛරසය පැතිරීම අවම කිරීමටයි. එය නිසි අයුරින් භාවිත කිරීමට නම් ගමන් බිමන්, සමූහ වශයෙන් එක්වීම, උත්සව හා සාද වලින් සම්පූර්ණයෙන් වැලකී සිටින ලෙස මා ඉල්ලා සිටිනවා. මේ තත්ත්වය පාලනයට මෙතෙක් අප ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඔබ විසින් ඔබට ලබා දී ඇති උපදෙස් පිලිපැදීමත් මත මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන් පාලනය කරන්නට අපට පුලුවන්.

රජයක් වශයෙන් රටේ ජන ජීවිතය පවත්වාගෙන යාම අපේ මූලික වගකීමයි. ජනතාවගේ විවිධ අවශ්‍යතා ඉටුකිරීමට රජය මැදිහත් විය යුතුයි.

රටේ සමහර පළාත්වල මේ වන විට නියඟයක් පවතිනවා. ඒ පළාත්වල ජනතාවට අපි පානීය ජලය ලබා දිය යුතුයි. සමහර පළාත්වල යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීමට මඩ පොහොර ලබා දිය යුතුයි. තවත් පළාත්වල අස්වැන්න නෙලන නිසා රජය වී මිලදී ගැනීමට කටයුතු කළ යුතුයි. එළවළු වෙලාවට මිලදී ගත්තේ නැත්නම් එලවළු ගොවියන් අසීරුවට පත් වනවා. ඒ වගේම එලවළු අඛණ්ඩව වෙළඳපොළට ගෙන ඒමත් අවශ්‍යයි. ඒ වගේම ජීවන වියදම අපි පාලනය කළ යුතුයි.

රාජ්‍ය නිලධාරීන් රාජකාරීවල යෙදුණේ නැත්නම් මේ සියල්ල අඩාල වෙනවා. අප තීරණගත යුත්තේ සමස්තය දෙස බලායි. නොවැම්බර් 16 වනදා අප ලද ජයග්‍රහණයෙන් පසු අපට පිහිටුවන්නට හැකි වූයේ සුලුතර රජයක්. මා බලයට පත්වන විට පසුගිය ආණ්ඩුව විසින් අයවැයක් සම්මත කොට තිබුණේ නැහැ. රට පවත්වාගෙන ගියේ අතුරු සම්මත ගිණුමකිනි.

බොහෝ අත්‍යවශ්‍ය ගෙවීම් සඳහා මුදල් අනුමත කොට තිබුණේ නැහැ. පොහොර සඳහා, බෙහෙත් සඳහා, ආහාර සැපයුම්කරුවන් සඳහා, ඉදිකිරීම් කරුවන් සඳහා මුදල් ගෙවා තිබුණේ නැහැ. අපි මේවා සඳහා අතුරු සම්මත ගිණුමක් සම්මත කරගන්නට උත්සහ කළා. එයට විපක්‍ෂයේ සහාය ලැබුණේ නැහැ. මේ තත්ත්වය යටතේ මා ඔබට පොරොන්දු වූ වගකීම් ඉටුකිරීමට පුළුවන් කමක් තිබුණේ නැහැ. සුලුතර ආණ්ඩුවකට මේ මුදල් පාර්ලිමේන්තුව තුළ අනුමත කරන්නට බැහැ.

ඒ නිසා තමයි මට ලැබුණු පළමු අවස්ථාවෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැර ස්ථාවර නව රජයක් පිහිටුවා ගැනීමට මැතිවරණයක් කැඳවනු ලැබුවේ. පාර්ලිමේන්තුව විසිරවීමත් සමග ව්‍යවස්ථාවෙන් ලැබුණ බලතල අනුව මා අතුරු සම්මත ගිණුමක් අනුමත කළා. ඒ අනුව අත්‍යාවශ්‍ය වියදම් සඳහා මුදල් ගෙවීම ආරම්භ කළා. වත්මන් ආපදා තත්ත්වයට මුහුණ දීමටත් අපට හැකි වුණේ ඒ නිසාය.

නමුත් මැතිවරණයක් පවත්වා අලුත් ස්ථාවර රජයක් ස්ථාපිත කොට නව අයවැයක් සම්මත කොට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මා ඔබට පොරොන්දු වූ පරිදි, සහන ලබාදීම රැකියා ලබාදීම කෘෂිකර්මය නගා සිටුවීම ඇතුළු සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කළ යුතුයි.

ඒ සඳහා පරිනත දේශපාලනඥයෙක් වූ ජනතා ජනාදරයට පත් වූ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ නායකත්වයෙන් ප්‍රබල රජයක් බිහි කිරීමට මා වටා එක් වන ලෙස මා ඉල්ලා සිටිනවා.

මේ අවස්ථාවේ අපේ වගකීම වන්නේ රජය නිසි ලෙස පවත්වාගෙන යාමයි. මොනම හේතුවක් නිසාවත් රජය අකර්මන්‍ය වන්නට ඉඩ හරින්නට බැහැ. අප දුර දිග නොබලා කටයුතු කළ හොත් සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල විය හැකියි. නායකයන් ක්‍රියා කළ යුත්තේ ආත්ම විශ්වාසයකින් යුතුවයි. ජනතාව තුළ අනිසි බියක් ඇති නොකළ යුතුයි.

අප මේ අවස්ථාවේ කළ යුත්තේ ලංකාවට වෛරසය ඇතුල් වීමට හා එය රට තුළ පැතිරීමට ඇති ඉඩ කඩ අවම කිරීමයි. ඒ සඳහා කළ යුතු දේ අප දැනටමත් හඳුනාගෙන ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය බලතල කාර්ය සාධන බලකායට ලබා දී තිබෙනවා.

අපි මින් පෙරත් අභියෝගවලට මුහුණ දී ජය ගෙන තිබෙනවා. අපි අභියෝගවලට මුහුණ දීමට සූදානම්. ඒ සඳහා අපට අවශ්‍ය වන්නේ එකමුතුකමයි. ඒ නිසා මා ඉල්ලා සිටිනවා. ජනතාවට මේ අවස්ථාවේ වගකීමෙන් කටයුතු කරන ලෙස.

මේ අතර ජනතාවගේ එදිනෙදා ජීවිතය පහසු කිරීම සඳහා ඔවුන්ගේ පරිභෝජන තත්ත්වය තහවුරු කිරීමට මා අදහස් කරනවා. සහල් සැපයුම දැනටමත් ස්ථාවර කොට තිබෙනවා. රටේ ජන ජීවිතයට බාධා නොවන පරිදි අවශ්‍ය රාජ්‍ය සේවාවන් බැංකු මූල්‍ය වෙළඳ කටයුතු, ප්‍රවාහන කටයුතු අවම පිරිස් යොදා කිරීමට සැලසුම් කොට තිබෙනවා. සෑම වෙළෙඳ සැලකම අද රාත්‍රියේ සිට පරිප්පු කිලෝවක් රුපියල් 65 ක උපරිම සිල්ලර මිලකට විකිණීමට මා නියෝග කොට තිබෙනවා. එමෙන්ම සැමන් ටින් එකක් රුපියල් 100 කට ලබා දීමටත් කටයුතු කරනවා. තවත් සහන ඉදිරියේ දී ලබා දීමට ක්‍රියා කරනවා.

රටේ ව්‍යාපාර කටයුතුවලට විශාල බරක් වී ඇති බැංකු හා මූල්‍ය ආයතන විසින් දී ඇති ණය අය කිරීම මාස 6 කට නතර කිරීමට නියෝග කරනවා. එලෙසම බැංකු විසින් සපයන කාරක ප්‍රාග්ධනය 4 % ක පොළියකට ලබා දීමට කටයුතු කරනවා. ඔබ මා කෙරෙහි තැබු විශ්වාසය කිසිදු අයුරකින් පළුදු නොකරන බව මා ඔබට සහතික වෙනවා. ඔබෙත් මගෙත් රට අද සුරක්ෂිතයි. 


RECOMMEND POSTS