දරුවන්ගේ අපෙක්ෂා බිඳ වැටෙන්න දෙන්නේ නෑ



දිගින් දිගටම පතිත වූ බෝම්බ ප්‍රහාර හේතුවෙන් නිවෙස් අහිමිව කඳවුරු ජීවිතයකට පිවිසි අහමඩ් හඩාජා වයඹදිග සිරියාවේ කූඩාරමක දරුවන් වෙනුවෙන් ඉගැන්වීම් ආරම්භ කළේය. මෙය ක්‍රමයෙන් කූඩාරම් පාසලක් බවට පත්ව තිබිණි.

නමුත් කොරෝනා වයිරසය පැතිරයා‍ම ආරම්භවීමත් සමග ඔහුගේ කූඩාරම් පාසල වසා දැමීමට සිදුව ඇත. එසේ පාසල වසා දැමුව ද හඩාජා තම සිසු දරුවන්ට ඉගැන්වීම අතහැර දමා නැත.

21 හැවිරිදි වියේ පසුවන ස්වේච්ඡා අරාබි ගුරුවරයකු වන හඩාජා රොයිටර් පුවත් සේවයට පවසන්නේ ''අපි දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන් තම තමන්ගේ කූඩාරම්වල සිටිමින් හොඳින් ඉගෙන ගන්නා ලෙසයි. ඉතිරිවන එකම දෙය අධ්‍යාපනය පමණයි." යනුවෙනි. තුර්කි දේශසීමාව අසළ පිහිටි මේ අට්මේ කඳවුරේ දී ඔහු Whatsapp භාවිතා කරමින් වීඩියෝ ඉගැන්වීම් සිදුකරයි.

වසර නවයක යුද්ධයෙන් පීඩාවට පත්වූ මිනිසුන් මේ කඳවුරුවල දිවිගෙවති. ඔවුන් වෙනුවෙන් ඉදිකර තිබූ රෝහල් පවා විනාශ වී නටඹුන් බවට පත්ව ඇත. කඳවුරු සියල්ල මිනිසුන්ගෙන් පිරී ඉතිරී පවතී. කැරළිකරුවන්ගේ බලකොටුවක් වන සිරියාවේ වයඹ ප්‍රදේශයේ කොවිඩ්-19 වයිරසය පැති ගියහොත් වෛද්‍යවරු මෙය පාලනය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ බිය පළකරති. කොවිඩ්- 19 ආසාදිතයන් හඳුනාගැනීම සඳහා පරීක්ෂණ කට්ටල එම ප්‍රදේශයට ලැබී ඇත්තේ මෙම සතියේ දී ය. නමුත් තහවුරු කර නොගත් රෝගීන් දැනටමත් ඔවුන් අතර සිටිය හැකි බව වෛද්‍යවරු කියති.

වයිරසය හේතුවෙන් ලෝකයේ විශාල නගර වසා දමද්දී සිරියාවේ සිට බංග්ලාදේශය දක්වාම රටවල ලක්ෂ ගණනක් ජනතාව අවතැන් කඳවුරුවල සහ තාවකාලික ජනාවාසවල බරපතල අවදානමකට මුහුණ දී සිටිති. ඔවුන්ට ඇති ප්‍රධානතම ගැටලුව පිරිසිදු පානීය ජලය නොමැති කමයි. රෝගාබාධ නිතරම බහුලව පවතින අතර සමාජයෙන් හුදකලා වී සිටිය නොහැකි තරමට මේවායේ විශාල පිරිසක් එකට ජීවත් වෙති.

මේ සියල්ල තාවකාලිකව අමතක කර දමා ඇති හඩාජා සිය සිසු දරුවන්ට ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් උගන්වන්නේ ගැටුමෙන් සියල්ල අහිමිවූ දරුවන්ට අධ්‍යාපනය හෝ ලබාදිය යුතුය යන අචල විශ්වාසයෙනි.

සියලු අපේක්ෂාවන් අහිමිව කූඩාරම්වලට කොටුවී සිටින මේ දරුවන් යම් සාමාන්‍ය තත්ත්වයක පවත්වා ගැනීමටත් ඔවුන්ට අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් ලබාදීමටත් ඔහුගේ මේ ඉගැන්වීම සමත්වී තිබේ.

තවත් තරුණ ගුරුවරු පස් දෙනකු සම්බන්ධ කරගත් හඩාජා පළමු ශ්‍රේණියේ සිට හතරවන ශ්‍රේණිය දක්වා සෑඹ පන්තියක් සඳහාම Whatsapp භාවිතා කරමින් පාඩම් සහ පැවරුම් දෙමාපියන්ගේ දුරකථන වෙත යවයි. ඇතැම් ඒවා කෙටි වීඩියෝ පාඩම්ය.

''දරුවන් එක තැනකට එක්වීම වැළැක්වීම සඳහා අපි අපේ ඉගැන්වීම් කූඩාරම් වසා දැමුවා. කොරෝනා පැතිරේවි යැයි අපි බියෙන් පසුවෙනවා. නමුත් ඉගැන්වීම් කූඩාරම් වසා දැමුවත් අපි ඉගැන්වීම කරගෙන යනවා. එය නවත්වන්නේ නැහැ. කූඩාරම්වල ජීවත්වන මේ මිනිසුන්ට කිසිසේත්ම හුදකලා වෙන්න බැහැ. ඔබ මිනිසුන්ට ගෙදර තනිවී ඉන්න කියනවා. නමුත් කෝ නිවාස ? ඔවුන් තනිවී සිටින්නේ කොහොමද ? ඔවුන් සිටින්නේ දහස් ගණනින් එක පොදියට." හඩාජා තම අවතැන් කඳවුරේ තත්ත්වය මාධ්‍ය හමුවේ එසේ කියන්නේ ඒ ගැන ලෝක ප්‍රජාව දැනගත යුතුයැයි සිහිපත් කරමිනි.


RECOMMEND POSTS