‘පද්මාවතී’ තහනම් කරන්න බෑ කියයි



මහත් ආන්දෝලනයකට ලක්වී ඇති ‘පද්මාවතී’ බොලිවුඞ් චිත්‍රපටය තහනම් කරන්නැයි ඉන්දීය ප්‍රාන්ත කිහිපයක මහ ඇමැතිවරුන් සහ හින්දු ජාතිකවාදී කණ්ඩායම් කළ ඉල්ලීම එරට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළ බව ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය.

මාසයක කාලයක් තුළ ‘පද්මාවතී’ චිත්‍රපටය ප්‍රදර්ශනය තහනම් කිරීම ප්‍රතික්ෂේප කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ තෙවැනි අවස්ථාව මෙය යැයි ද ඉන්දීය පුවත් සේවා පෙන්වා දෙයි.

චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට සුදුසු ද නැද්ද යන්න තීරණය කළ යුත්තේ ඉන්දීය රැගුම් පාලක මණ්ඩලය බවත්, ඔවුන්ගේ තීරණය අවසන් තීරණය ලෙස සැළකිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇත. ‘පද්මාවතී’ චිත්‍රපටය තිරගත වීමට නියමිතව ඇත්තේ ලබන දෙසැම්බර් පළමු වැනිදාය.

පද්මාවතී චිත්‍රපටයට පාදක වන්නේ රාජ්පුත්හි රාණි පද්මාවතී නමැති හින්දු රැජිනගේ කතාවය. පද්මාවතී චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා සන්ජේ ලීලා බන්සාලිය.

චිත්‍රපටයට අනුව ‘පද්මාවතී’ රැජින, ඇගේ රාජධානිය ආක්‍රමණයට පැමිණෙන මුස්ලිම් පාලක අලුවුද්දීන් කිලීජි අතරේ ‘පෙම් හඹයක්’ නිර්මාණය වෙයි. පද්මාවතී සම්බන්ධයෙන් හින්දු ජාතිකවාදීන්ගෙන් විරෝධය එල්ල වී ඇත්තේ ඒ නිසාය.

‘පද්මාවතී’ චිත්‍රපටය ඉන්දීය ඉතිහාසය විකෘති කිරීමක් යැයි චෝදනා නගමින් එය ප්‍රදර්ශනය තහනම් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ රාජස්ථාන්, උත්තර ප්‍රාදේශ් සහ හර්යානා යන ප්‍රාන්තවල මහ ඇමැතිවරුන්ය.

පද්මාවතී ලෙස රංගනයෙන් දායක වන්නේ බොලිවුඞ් සුරූපිනියක වන දීපිකා පදුකෝන්ය.  දීපිකාගේ හිස ගසා දමන්නේ නම්, එසේ කරන තැනැත්තාට ඉන්දීය රුපියල් කෝටි 100 ක මුදල් ත්‍යාගයක් ලබා දෙන බව ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ, හර්යානා ප්‍රාන්තය නියෝජනය කරන හින්දු ජාතිකවාදී නායක සුරාජ් පාල් අමූ කළ ප්‍රකාශය මේවනවිට ආන්දෝලනයට හේතුවක් වි තිබේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS