‘ට්විටර් මෝදි’



ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ට්විටර් ගිණුමක් ඇතැයි දැනගැනීමෙන් ඇමෙරිකන් මාධ්‍යවේදිනියක පුදුමයට පත්වීමේ සිද්ධියක් ඉන්දියාවේ එන්.ඩී.ටීවී. පුවත් සේවය වාර්තා කරයි.

මවිතයට පත්වුණු ඇමෙරිකන් මාධ්‍යවේදිනිය මෙගින් කෙලීය. ඇය සේවය කරන්නේ එන්.බී.සී. නාළිකාවේය.

පසුගිය දා රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර කොන්ස්ටන්ටින් මාලිගයේ දී ඉන්දීය අගමැති මෝදි සහ රුසියන් ජනපති පුටින් හමුවීමට මෙගින් කෙලීට අවස්ථාව උදා විය.

ඔබේ ටිව්ටර් ගිණුමේ ඇති දේවල් මම නිරන්තරයෙන් දකිනවා යැයි එහිදී ඉන්දීය අගමැතිවරයා මාධ්‍යවේදිනියට කියා සිටියේය.
‘මොනවා ? ඔබතුමා ටිව්ටර් ඉන්නවා ?’ යන්න මාධ්‍යවේදිනියගේ පිළිතුර විය.

මෙම සන්වාදය සමාජ ජාල උණුසුම් කිරීමට සමත් වී ඇත. ඉන්දීය අගමැති මෝදි ට්විටර් පරිශීලකයකු බව තමන් දැන නොසිටි බවත්, තම පුවත් ආයතනයේ කාර්ය මණ්ඩලය පවා තමාට ඒ බව දැනුම් දී නොතිබුණු බවත් මාධ්‍යවේදිනිය පසුව කියා සිටියේ ලැජ්ජාවෙනි. මේ සම්බන්ධයෙන් ඇයට බොහෝ දෙනාගෙන් දොස් අහන්න ද සිදුවී ඇත.

ඉන්දීය අගමැතිගේ ට්විටර් ගිණුම හා සම්බන්ධ වී සිටින පිරිස මිලියන 30  කට වැඩිය. ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් පසු වැඩිම පිරිසක් එක් වී සිටින්නේ මෝදිගේ ගිණුම සමඟ යැයි ද පැවැසෙයි.

මාධ්‍යවේදී මෙගින් කෙලීගේ ට්විටර් ගිණුම හා සම්බන්ධ වී සිටින්නේ මිලියන 2 ක පිරිසක් පමණි.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS