හොලිවුඞ් අධ්‍යක්ෂ ෂූමාකර් සමුගනී



ජනප්‍රිය හොලිවුඞ් අධ්‍යක්ෂවරයකු වන ජොඑල් ෂූමාකර් දිවියෙන් සමුගත්තේය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 80 කි.

1980 සහ 90 දශකයේ බොක්ස් ඔෆිස් චිත්‍රපට කිහිපයක අධ්‍යක්ෂවරයා ෂූමාකර් ය. ‘ද ක්ලයන්ට්’, ‘ලොස්ට් බෝයිස්’ (1987), ‘අ ටයිම් ටු කිල්’ (1996) සහ ‘බැට්මෑන්’ චිත්‍රපට ඒ අතරින් කැපී පෙනෙයි. ෂූමාකර් අධ්‍යක්ෂණය කළ බැට්මෑන් චිත්‍රපට වන්නේ ‘බැට්මෑන් ෆෝ එවර්’ (1995) සහ ‘බැට්මෑන් ඇන්ඞ් රොබින්’ (1997) ය.

ෂූමාකර් හොලිවුඩයට පිවිසියේ අධ්‍යක්ෂවරයකු නොව, නළු නිළියන් සඳහා ඇඳුම් නිර්මාණ ශිල්පියකු ලෙස ය. ඒ, 1976 වසරේදී ය. සම්මානනීය අධ්‍යක්ෂකවරයකු වන වුඩී ඇලන්ගෙන් ගුරුහරුකම් ලබා ගැනීමත් සමඟ ෂූමාකර් තිර රචකයකු ලෙසත් පසුව අධ්‍යක්ෂවරයකු ලෙසත් හොලිවුඩය ජය ගත්තේය.

ටොම් කෲස්, ජුලියා රොබට්ස්, මයිකල් ඩග්ලස්, වෑල් කිල්මර්, කීෆර් සදර්ලන්ඞ්, ආනෝල්ඞ් ස්වාසනගර්, සැමුවෙල් ජැක්සන්, කොලින් ෆැරන්, ෆොරස්ට් විටෙකර්, සූසන් සැරෙන්ඩන්, ටොමී ලී ජෝන්ස්, නිකලස් කේජ්, ජිම් කැරී සහ ජොර්ජ් ක්ලූනි ඇතුළු හොලිවුඩයේ ජනප්‍රිය සුපිරි නළු නිළියෝ රැසක් ෂූමාකර්ගේ චිත්‍රපටවලට සම්බන්ධ වී ඇත.

සිනමා අධ්‍යක්ෂකවරයකු වීම කෙතරම් අභියෝගයක්දැයි පෙන්වා දෙමින් ෂූමාකර් වරක් මෙසේ පවසා තිබේ. ‘ඔබ සිනමා නිර්මාණයකට ආදරේ කළොත්, නළු නිළියන් ඇතුළු ඊට සම්බන්ධ සැමට ඔබේ ප්‍රශංසාව හිමිවෙනවා. ඒත් චිත්‍රපටය අසාර්ථක වුණොත් බැණුම් අහන්න වෙන්නේ එක් අයකුට පමණයි. ඒ තමයි අධ්‍යක්ෂවරයා. අධ්‍යක්ෂකවරයාගේ කාර්යය එයයි.’

ලොස් ඇන්ජලීස්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS