හිටපු ජනපතිට නිළියකගෙන් චෝදනා



ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වන ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් සමඟ ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාවේදී, රෝද පුටුවේ සිටි 93 හැවිරිදි හිටපු ජනපතිවරයා තමාගේ පසුපස ස්පර්ශ කළ බවත්, එම අවස්ථාවේදී, තමා දැඩි අපහසුතාවට ලක්වුණු බවත්, හොලිවුඞ් යොවුන් නිළි හෙදර් ලින්ඞ් මාධ්‍ය හමුවේ හෙළිදරව් කර ඇත.

හෙදර් ලින්ඞ් 34 හැවිරිදි වියෙහි පසුවන්නීය. ඇය පවසන පරිදි ඇයට මෙය ‘ලිංගික අකරතැබ්බ’ සිදුවී ඇත්තේ 2014 වසරේදීය. හෙදර් ලින්ඞ්, බටහිර රටවල ප්‍රසිද්ධියට පත්වී සිටින්නේ ඇමෙරිකානු ඒ.එම්.සී. නාළිකාව නිෂ්පාදනය කරන ‘ද ටර්න්’ නමැති රූපවාහිනී කතාමාලාව හරහාය.

‘ද ටර්න්’ කතාමාලාව පළමුවෙන් තිරගත වූයේ 2014 වසරේදීය. එහි මුහුරත් උලෙළක් ටෙක්සාස් ජනපදයේ හූස්ටන්හිදී පැවැත්වුණු අතර විශේෂ ආරාධිත අමුත්තෙක් ලෙස හිටපු ජනාධිපති ජෝර්ජ් එච්. ඩබ්ලිව් බුෂ් සහ බිරිඳ බාබරා ඊට සහභාගී වූහ.

හිටපු ජනපතිවරයා හෙදර් ළං කර ගනිමින් ඡායාරූපයට පෙනී සිටියේ එම අවස්ථාවේදීය. හිටපු ජනාධිපතිගේ බිරිය, බාබරා පමණක් නොව ‘ද ටර්න්, කතා මාලාවේ සෙසු නළුවන් වන සෙත් නියුමැරික්, සැමුවෙල් රෝකින්, ඉයන් ඛාන්, කෙවින් මැක්නෙලි, බර්න් ගෝර්මන් ද ඡායාරූපයට පෙනී සිටියහ. හිටපු ජනපති බුෂ් සහ බිරියට පිටුපසින් සිටින්නේ එම පිරිසය.

‘හිටපු ජනපතිගෙන් තමන්ට ලිංගික හිරිහැරයක් සිදුවුණා’ යනුවෙන් හෙදර් ඇමෙරිකන් මාධ්‍ය හරහා චෝදනා කර ඇත්තේ එම සිදුවීම යළි සිහිපත් කරමිණි.

මේ සම්බන්ධයෙන් වහා සමාව ඉල්ලීමටත්, ඒ ගැන කනගාටුව පළ කිරීමටත් හිටපු ජනාධිපති ජෝර්ජ් එච්. ඩබ්ලිව් බුෂ් කටයුතු කර ඇත. ඒ, ට්විටර් පණිවුඩ පවා නිකුත් කරමිණි. තමා හෙදර් ලින්ඞ්ගේ පසුපස ස්පර්ශ කළා නම්, ඒ නරක අදහසකින් නොවන බවත්, එවැනි අදහසක් තමා තුළ නොතිබුණු බවත් සමාව ඉල්ලමින් හිටපු ජනපති පවසා ඇත. එම අවස්ථාවේදී ඇය අපහසුතාවට පත් වූයේ නම් ඒ ගැන දැඩි ලෙස තමා කනගාටු වෙනවා යැයි ද හිටපු ජනපතිවරයා වැඩි දුරටත් පවසා තිබේ.

පසුගිය කාලයේ හොලිවුඞ් නිළියන්ට සිදුවුණු ලිංගික හිරිහැර සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් රහස් රැසක් මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී ඇත. ඒ, ඇමෙරිකානු ප්‍රකට නිවේදක හාවි වින්ස්ටන්ට ලිංගික අපහරණ චෝදනා එල්ල වීමත් සමඟය.

(ඬේලිමේල්)


RECOMMEND POSTS