බොලිවුඩ් නළු නිලියන් රැසකට මන්ත්‍රී වරම්



මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමත් සමඟින් ඉන්දීය නළු නිළි සටන්ද අවසන් වී තිබේ. ඉන්දියානු මහ මැතිවරණයට ඉදිරිපත්වූ ඉන්දීය සුපිරි නළු නිළියන්ගෙ මැතිවරණ ජයග්‍රහණ හා පරාජයන් ගැන දැන් බොලිවුඩයෙන් වාර්තා වේ.

මේවන විට මුම්බායි  නගරය එකම සතුටු සැණකෙළියක් වගේම තව පිරිසකට මළගමක්. මැතිවරණෙන් ජයගත් නළු නිළියන් වටා රොක් වූ රසිකයන් ඔවුන්ගේ ජයග්‍රහණය සමරන්නා සේ ම පරාජිත අයවලුන්ගේ පරිවාරකයෝ තැන් තැන්හි කලහ කරති. ඉන්දියාව තුළ මෙවැනි වාතාවරණයක් නිර්මාණය වීම අතිශය සාමාන්‍ය සංසිද්ධියකි.

බොලිවුඩයෙන් විශාල නළු නිළි පිරිසක් මෙවර මහා මැතිවරණයට ඉදිරිපත් වූ අතර ඉන් කිහිපදෙනෙක් ජයග්‍රහණය කොට තවකෙක් පරාජයට පත් වී තිබේ. මෙමඟින් පෙන්වන්නේ ජනතාව කොතෙක් දුරට රංගන ශිල්පීන්ව දේශපාලකයන් ලෙස පිළිගනීද යන්නයි.

බොලිවුඩයේ සුපිරි රංගන ශිල්පී සනී ඩියෝල් මෙවර මැතිවරණෙන් විශිෂ්ට ජයක් අත්පත් කරගත් අතර රංගන ශිල්පී රවී ක්‍රිෂන් ද ගායන ශිල්පී බාබුල් සුප්‍රියෝ ද ජයග්‍රහණය කරන ලදී.

ලංකාවේ අතිශය ජනප්‍රිය වූ මහගෙදර ටෙලි මාලාවේ තුල්සිගේ චරිතයට පන පෙවූ ස්ම්‍රිති ඉරානි, රාහුල් ගාන්ධිවද පරයා විශිෂ්ට ලෙස මැතිවරණය ජයගන්නා ලදී.

බොලිවුඩයේ ප්‍රවීණ රංගන ශිල්පිනියන් වන හේමා මාලනී හා කිරන් ඛේර් ද මැතිවරණයෙන් ජයගත් අතර සුරූපි රංගන ශිල්පිනී උර්මිලා මන්තෝඩ්කර් පරාජයට පත්වුනා. 

එසේම ප්‍රවීණ රංගන ශිල්පිනීන් වන ජය ප්‍රදා හා සොනාක්ශි සිංහාගේ දෙමව්පියන් වන ශස්තෘගන් සිංහා සහ පූනම් සිංහාද මැතිවරණයෙන් පරාජයට පත්විය. දකුණු ඉන්දීය (කොලිවුඩ්) ප්‍රවීණ රංගන ශිල්පී ප්‍රකාශ් රාජ් ද පරාජයට පත්ව ඇතැයි ආරංචි වේ.

තත්වය මෙසේ වුවද මැතිවරණ ක්‍රියාකාරී සංවිධාන ප්‍රකාශ කරන්නේ අධිකරණයෙන් දඩුවම් ලද සමහරක් රංගන ශිල්පීන් මෙවර මැතිවරණෙට සහභාගී වූවානම් ඔවුන් මේ ජයගත් සියල්ලන්වමත් අභිබවා ජයගැනීමට වුවද හැකියාව තිබුණු බවයි. උදාහරණයක් ලෙස අධිකරණය විසින් සල්මාන් ඛාන්ව වරදකරුවෙක් කර තිබුණද ජනතාව තුළ ඔහූට ඇති රසික ප්‍රසාදය කිසිම ලෙසකින් අඩුව නැති බවත් එම රසික ප්‍රසාදයම ඔහූව ජයග්‍රහණය කරා ඔසවා තබන බවත් ය.

( තිළිණි ද සිල්වා )
හින්දුස්තාන් ටයිම්ස්

RECOMMEND POSTS