ප්ලේබෝයි නිර්මාතෘ හියු හෙෆ්නර් සමුගනී



‘වැඩිහිටියන්ට පමණයි’ ලේබලය යටතේ පළ කෙරෙන ලෝ සුපතල ඇමෙරිකානු ‘ප්ලේබෝයි’ සඟරාවේ නිර්මාතෘ හියු හෙෆ්නර් ඊයේ (28) දිවියෙන් සමුගත්තේය.

මියයනවිට හෙෆ්නර් 91 හැවිරිදි වියෙහි පසුවිය. එය ස්වභාවික මරණයක් බවත් මියයන අවස්ථාවේදී හෙෆ්නර් ලොස් ඇන්ජලීස් නුවර ප්ලේබෝයි මන්දිරයේ සිටි බවත් ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

හෙෆ්නර් කෝටිපති ව්‍යාපාරිකයකු වූයේත් සුරූපී කාන්තාවන්ගේ ‘පෙම්වතා’ වූයේත් ‘ප්ලේබෝයි’ සඟරාවේ ජනප්‍රියත්වය හරහාය. හෙෆ්නර් ප්ලේබෝයි සගරාව පළමු වරට ප්‍රකාශයට පත් කළේ 1953 වසරේදීය.

එය අතිශයින් ජනප්‍රිය වූවා පමණක් නොව, ඉන්පසු ලොව පුරා මිලියන 7 ක අලෙවි වාර්තා කරමින් ලොව අංක එකේ පිරිමි සඟරාව බවට ද ප්ලේබෝයි සඟරාව පත්විය.

ලිංගික නිදහස සහ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම පළමු වරට සිදුවූයේ ‘ප්ලේබෝයි’ සඟරාව හරහා යැයි පිළිගැනෙයි. 1953 වසරේ පළවුණු පළමු ප්ලේබෝයි සඟරාව හැඬ ගැන්වුණේ එවකට ජනප්‍රිය නිළියක වුණු මෙරලීන් මොන්රෝගේ රුවිනි.

හෙෆ්නර් තෙවරක් විවාහ විය. ඔහු තෙවැනිවර විවාහ වූයේ 2012 වසරේදීය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 86 ක් විය. හෙෆ්නර්ගේ තෙවැනි බිරිය වූයේ ද ප්ලේබෝයි නිරූපිකාවකි. ඇය ඔහුට වඩා අවුරුදු 60 කින් බාල ක්‍රිස්ටල් හැරිස්ය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS