දකුණට පැමිණි උතුරේ ගායිකාව



දකුණු කොරියාවට පැමිණ සිටින උතුරු කොරියානු විශේෂ දූත පිරිසට නායකත්වය දෙන උතුරු කොරියානු පොප් ගායිකා හියොන් සොන් වෝල්ට දකුණු කොරියානු රජයෙන් සහ එරට වැසියන්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවී ඇතැයි වාර්තා වේ.

දකුණු කොරියවේ ලබන මාසයේ පැවැත්වෙන සීත ඔලිම්පික් උලෙළට උතුරු කොරියානු පිළක් සහභාගීවීමට නියමිත අතර, ඊට පෙර, එම කටයුතු සිදුවන අයුරු සොයා බැලීමට උතුරු කොරියාව මෙම දූත පිරිස දකුණු කොරියාවට එවා තිබේ.

පිරිසට නායකත්වය දෙන කොරියානු පොප් ගායිකා හියොන් සොන් වෝල් උතුරු කොරියාවේ ජනප්‍රිය චරිතයකි. ඇය මොරාන්බොන්ග් නමැති යුවතියන්ගෙන් පමණක් සමන්විත සංගීත කණ්ඩායමක නායිකාවක ද වන්නීය.

යොන් සොන් වෝල් පිරිවරා ගනිමින් උතුරු කොරියානු රජයේත්, එරට ක්‍රීඩා අමත්‍යාංශයේත් නිලධාරීන් පිරිසක් ද දකුණු කොරියාව බලා පැමිණියහ. දකුණු කොරියානු රජයේ නියෝජිතයෝ සහ ක්‍රීඩා බලධාරීහු ඔවුන් හමුවී සුහදව සාකච්ඡා පැවැත් වූහ.
සීත ඔලිම්පික් උලෙළ නිමිත්තෙන් උතුරු කොරියාවත් දකුණු කොරියාවත් අතර මේ වනවිට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් යහපත් සබඳතා නිර්මාණය වෙමින් පවතී.

කෙසේ නමුත් උතුරු කොරියාවෙන් පැමිණි දූත පිරිසට දකුණු කොරියාවේ ඇතැම් පාර්ශ්ව සිය විරෝධය පළ කළ බව ද වාර්තා වේ. විරෝධතාකරුවන් සෝල් නුවරදී විරෝධතා රැලි පැවැත් වූ බවත් උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ ඡායාරූප ගිනිබත් කළ බවත් වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS