තානාපති ධුරය ඉවත් කෙරේ



සිම්බාබ්වේ ජනපති රොබට් මුගාබේට පිරිනැමූ ගෝලීය සුබසාධන තානාපති ධුරය, ඉවත් කර ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට සිදුවී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

93 හැවිරිදි මුගාබේට, ගෝලීය සුබසාධන තානාපති ධුරයක් පිරිනැමීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කළේ, බෝ නොවන රෝග පිටුදැකීම සම්බන්ධයෙන් සිම්බාබ්වේ රාජ්‍යයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති සකස් කළ බවට ප්‍රසංශා කරමිණි.

ජනපති මුගාබේ ප්‍රමුඛ සිම්බාබ්වේ රජය එරට මහජන සෞඛ්‍ය වෙනුවෙන් කැපවී, කැපී පෙනෙන සේවයක් ඉටු කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව නායක තිද්‍රෝස් ඇඞ්හැනොන් මාධ්‍ය හමුවේ පවසා තිබුණි.

තිද්‍රෝස් ඇඞ්හැනොන් ඉතියෝපියානු ජාතිකයෙකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුල් පුටුවට පත් වුණු පළමු අප්‍රිකානු ජාතිකයා වන්නේ මොහුය. ලෝක සෞඛ්‍ය සංවිධානය ද දේශපාලනයට යටවී ඇතැයි චෝදනා එල්ල වී ඇති අතර, තිද්‍රෝස් ඇඞ්හැනොන් එහි මුල් පුටුවට පැමිණියේ එවැනි චෝදනා ඇති වීම වැළැක්වීමට බවත් පැවැසිණි.

සිම්බාබ්වේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ මුගාබේ විරෝධී විචාරකයන් පෙන්වා දෙන්නේ අප්‍රිකාවට අයත් සිම්බාබ්වේ රාජ්‍යයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිරිහී ඇති බවය. සෞඛ්‍ය සේවක සංඛ්‍යාව ඉතා අඩු මට්ටමක පවතින බවත්, එම සේවකයන්ට වැටුප් ගෙවීම පවා නිසි ලෙස සිදු නොවන බවත් ඔවුහු පැහැදිලි කරති.

කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ ඇතුළු ලෝක නායකයන් පවා, මුගාබේට ගෝලීය සුබසාධන තානාපති ධුරය පිරිනැමීමට තීරණය කිරීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර ඇතැයි විදෙස් පුවත් සේවා වැඩි දුරටත් පෙන්වා දෙයි.

මෙසේ එල්ල වුණු විරෝධය හේතුවෙන් මුගාබේට පිරිනැමීමට කටයුතු කළ ගෝලීය සුබසාධන තානාපති ධුරය වහා ඉවත් කර ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS