ට්‍රම්ප්ගේ පළමු බිරිඳට මෙලානියා කරුණු පහදයි



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පළමු බිරිඳ ඉවානා ට්‍රම්ප් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්, කරුණු පැහැදිලි කිරීමට ට්‍රම්ප්ගේ වත්මන් බිරිය මෙන්ම ඇමෙරිකා ජනාධිපති ආර්යාව ද වන මෙලානියා කටයුතු කළාය.

ඉවානා ට්‍රම්ප් යනු, ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කා, පුතුන් දෙදෙනා වන එරික් සහ ඩොනල්ඞ් ට්‍රම්ප් ජූනියර් (කණිෂ්ඨ) ගේ මවය. ට්‍රම්ප්ගේ ප්‍රියතම දරුවන් තිදෙනා වන්නේ මොවුන්ය. ට්‍රම්ප්ගේ ව්‍යාපාර බලා ගැනීම සිදු කරන්නේ ඉවන්කා ට්‍රම්ප් වන අතර, අද ඇය සහ ඇගේ සැමියා ජෙරාඞ් කුෂ්නර් ට්‍රම්ප්ගේ උපදේශකයන් ලෙස සේවය කරති.

ඉවානා පසුගිය දා ‘ගුඞ් මෝනින් ඇමෙරිකා’ වැඩසටහනට සහභාගී වූවාය. එහිදී ඇය විවෘතව අදහස් දක්වමින් කියා සිටියේ, දික්කසාද වී සිටියත් තමා ට්‍රම්ප්ගේ පළමු බිරිය බවත්, ඒ අනුව ඇය ඇමෙරිකන් ජනපති ආර්යාව බවත්ය.

ට්‍රම්ප් සමඟ ඇගේ දැන් කිසිදු කතාබහක් නැති බවය. ට්‍රම්ප්ට ඇමතුමක් දෙන්න ඇය කැමැති නමුත් ධවල මන්දිරයේ මෙලානියා සිටින නිසා එසේ නොකරන බව ද ඉවානා වැඩිදුරටත් කියා සිටියාය. එසේ ඇමතුම් දුන්නොත් මෙලානියා තව තවත් තමන්ට ඉරිසියා කරනු ඇතැයි ද ඉවානා කියා සිටියාය.

ඉවානා කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් ලෙස මෙලානියා වෙනුවෙන් ඇගේ ප්‍රකාශිකාව නිවේදනයක් නිකුත් කළාය.

‘ට්‍රම්ප් මහත්මිය ඇගේ පුතු බැරන් වෙනුවෙන් සහ ජනාධිපතිවරයා වෙනුවෙන් ධවල මන්දිරය ඇගේ නිවහන කර ගත්තා. වොෂින්ටන් අගනුවර පදිංචි වී සිටීමට ඇය ප්‍රිය කරනවා. ඇමෙරිකා ජනපති ආර්යාව බවට පත් වීම ඇයට ලොකු ගෞරවයක්.  ඇය ඇයට නෛතකිව ලැබුණු එම ‘තනතුර’ භාවිතා කරන්නේ රටේ දරු දැරියන්ට යහපතක් කිරීමේ අරමුණින්. ඇය ‘ජනපති ආර්යාව’ ලෙස පොත් ලියන්න අදහස් කරන්නේ නැහැ. නීත්‍යාණුකූලව වෙන් වුණු ජනපතිගේ හිටපු බිරිය ජනපති ආර්යාව වෙන්නේ නැහැ. ඇය උත්සාහ ගන්නේ අවධානය ලබා ගන්න. ඒ බව පැහැදිලියි’ යැයි එම නිවේදනයෙහි සඳහන් වෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS