90 වැනි ඔස්කාර් සම්මාන උළෙල



බටහිර සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැළකෙන ඇකඩමි ඇවෝර්ඞ්ස් හෙවත් ඔස්කාර් සිනමා සම්මාන උළෙල 90 වැනි වරට ඊයේ (4) සුපුරුදු පරිදි ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

සිනමාලෝලීන්ගේ පමණක් නොව, විචාරකයන්ගේ පැසැසුමට පත්වුණු ගොළු තරුණියක සහ ඇගේ අනුකම්පාව හිමිවන මානවරූපී ජලජ ජීවියාගේ ආදර අන්දරය ‘ද ෂේප් ඔෆ් වෝටර්’ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේය.

‘ද ෂේප් ඔෆ් වෝටර්’ ග්වෙලර්මෝ දෙප් ටෝරෝගේ අධ්‍යක්ෂණයකි. අපූරු ආකාරයට සිනමා නිර්මාණ ඉදිරිපත් කිරීමේ ශූරයකු ලෙස කැපී පෙනෙන අධ්‍යක්ෂවරයෙකි. මෙවර හොඳම අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය දිනා ගැවීමට ද ‘ද ෂේප් ඔෆ් වෝටර්’ වෙනුවෙන් දෙල් ටෝරෝට හැකිවිය.

කවුරුත් අපේක්ෂා කළ ආකාරයට වින්ස්ටන්ට් චර්චිල්ගේ චරිතය අසුරින් නිර්මාණය වුණු ‘ද ඩාකස්ට් අවර්’ චිත්‍රපටයේ  අගමැති චර්චිල්ගේ චරිතයට පණ දුන් ගැරී ඕල්ඞ්මන් හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර විය.

හොඳම නිළියට හිමි සම්මානය දිනාගත්තේ ෆ්‍රන්සිස් මැක්ඩෝමැන්ඞ්ය. ඒ, ‘ත්‍රී බිල්බෝර්ඞ්ස් ඔවුට්සයිඞ් එබින්ග් මිසෝරි’ චිත්‍රපටය වෙනුවෙනි.

හොඳම සහාය නළුවා වූයේ සෑම් රොක්වෙල්ය. ඒ, ‘ත්‍රී බිල්බෝර්ඞ්ස් ඔවුට්සයිඞ් එබින්ග් මිසෝරි’ ෂෙරිෆ්වරයාගේ චරිතයට පණ පොවමිනි. හොඳම සහාය නිළිය වූයේ ‘අයි ටෝන්යා’ චිත්‍රපටවේ ඇලිසන් ජෙනීය.

හොඳම සජීවීකරණ චිත්‍රපටය බවට පත් වූයේ මළවුන්ගේ අපූරු ලෝකයේ සවාරියක යෙදෙන ගැටවරයෙකු ගැන කියන ‘කෝකෝ’ චිත්‍රපටයයි.

හොඳම විදෙස් චිත්‍රපටයට බවට පත් වූයේ ‘අ ෆැන්ටෑස්ටික් වුමන්’ ය. මෙය ස්පාඤ්ඤ චිත්‍රපටයකි.

(ඒ.එෆ්.පී)


RECOMMEND POSTS